Wednesday, December 21, 2011

ජාවා හෑවා....

හෆ්ෆේ මේ පැත්තේ ගොඩවැදෙන්ට සෑහෙන කාලයක් ගියා නොවැ... දැන් ඉතින් ඉස්සර වගේ  පිස්සු බයිලා කෙලින්ට අපේ අයට ටිකක් විතර කාල වේලා නෑ ඔන්න..  පින්සර ලමයාටත් සෙමෙස්ටරය මැද ලැබුණ නිවාඩුව අස්සේ නොකියා හිටියොත්  කට කහන අපේ එවුන්ගේ කයි කතන්දරයක් දෙකක් කියලා යන්ට ඕනැයි කියලා තමා මේ පැත්තේ  ගොඩවැදුනේ ඕං....

දැන් ඉතින් අපි දෙවැනි වසරේ නෙව. අපිටයි කියලා පොඩිඑවුන් ටිකකුත් දැන් ඉන්නව ඕං.  නවක පොඩි ඈයො ටික හදල වඩලා ගන්ටයි කියලා අපි එයාලට නම්නීකොරනය කියල වැඩසටහනක් කිරියාත්මක  කොරලා තිබුනේ  උන්දැලා අපේ සරසවියට ආපු මුල් දොහේ. ඒ කාලේ ඉතිං පොඩි කොල්ලන්ට කෙල්ලන්ට එන්ටැයි කියලා ආගිය ව්ස්තර කතා කොරනවා දැනහඳුනා ගන්ටත් එපැයි කව්ද මුන්නැහෙලා කියලා. ඔන්න ඔය අතරෙ  අපේ ජාවා කොලුවට වයර් මාරුවක් වෙලා සාටර් උන සිද්දියක් ගැන තමයි  මේ  අකුරු අමුණන්ට හරිබරි ගැහෙන්නේ. අපේ ඇන්න කොලුවටත් ඔය වයර් මාරුවක් වෙලා තිබුනාය කියලා අපේ පාප්පුවා අපේ  කතා වලට වාර්තා කොරලා තිබුනේ මෙයිට ඉස්සරල.  හ්ම්.. අපි කතන්දරේට එන්ටොර් වෙමුකෝ..
    ඔන්න අපේ පොඩි ඈයොන්ගෙ බැච් එකේ හිටියා කොයි වෙලාවෙත් ලැජ්ජාවෙන් මූණු පොඩිය රතු කොරගෙන හිටපු පුංචි නඟා කෙනෙක්. අපි එයාට "තුත්තිරි" කියලයි නම් දීල තිබුනෙ මට මතකෙ හරි නම්.  දවසක්  අපේ බවනෙදි අපේ කස්ටියක් එකතු වෙලා ඔය පොඩි ඈයො ඉන්ටෙව් කොරන වෙලාවක ඔය කියපු තුත්තිරි නඟාව ඉන්ටෙව් එකට කැඳෙව්වා ඔන්න. ඉන්ටෙව් බෝඩ් එකේ ජාවා, පාප්පුවා,පින්සර සහ තවත් හතර පස් දෙනෙක්ම හිටියා මතකෙ හැටියට. 
දැන් ඉතින්  උපන් දිනය, උපන් ස්තානය, නම,  නමේ තේරුම , ගම , ගමට නම යෙදුන හැටියෙන් පටන් ගත්තාම  ගඩාෆි  ගේ බාප්පගෙ පුතාගෙ නම දක්වා තියෙන පුරස්න  ඉන්ටෙව් බෝඩරයෙන් ඉදිරිපත් කෙරෙන්ට නියමිතයි.  ඔය අතර මඟකදි  මෙන්න මෙහෙම පුරස්නෙයක් ඉදිරිපත් කෙරෙනව.

                         "නංගි, තාත්තා මොකද කරන්නේ...?"

අනේ කෙල්ල බොහොම අමාරුවෙන් ඇදල පැදල, ඇඹරි ඇඹරි මෙහෙම කියනව

                         "මහජන සෞඛ්‍ය පරීක්ෂක"

ඒ වචන ටික බොහොම අමාරුවෙන් වෙන්ටැති අමුණා ගන්ට ඇත්තේ. මොකද ඒ කාලෙදි පොඩි ඈයොන්ට කඩු හරඹ දැක්වීම සපුරා තහනම් කොරලා නේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ පාප්පුවා ඇහුවා
                         "ආ.. නංගිගෙ තාත්තා PHI කෙනක්ද..?" කියලා..

ඔන්න ඔයවෙලාවේ අපෙ ජාවා ලොක්කා කොහෙදෝ මනෝපාරක ඇවිද ඇවිද ඉඳලා පියවි ලෝකෙට අඩිය තිබ්බා විතරයි. ජාවා එකපාරටම පුදුමෙන් වගේ
                          " මොනවා, PHP.....!!! හා... හා... හොඳයි හොඳයි..."
          කස්ටියම මේ ජාවා දෙලොව පටලෝගෙන කියපු කතාව කොහෙන් දිරවා ගන්ටදැයි කියන අමාරුවෙන් වගේ තුස්නිම්බූතව මොහොතක්  බලන් ඉන්ට ඇති. ඉන් පස්සේ කස්ටිය පොලොවෙ හැපි හැපි හිනාවෙන දිහා ජාවා තුස්නිම්බූතව බලන් හිටියා හාංකවිසියක් වත් නොදැන.
    මොනවා කොරන්නද ජාවෝ. මේ ලෝකේ අපිට වැඩියෙන්ම ඇහෙන්නේ  JAVA,PHP,HTML,CSS,C යනාදී කොම්පීටර සම්බන්ද වචන නොවැ.   මේ දවස් වල වැස්ස ගොරවන එක ඇහෙනව ඇත්තෙත් Domain... Domain... කියලා වෙන්ටැති නේ....