Saturday, April 13, 2013

කෙටිම ආදර කතාව.......෴

ආයුබෝවන්ඩ හුඟ කාලෙකින් මේ පැත්තෙ ආවෙත් නෑ නොවැ. කොහෙද ඉතින් අපි දන්නෙත් නැතිවම කාලය ගතවෙලා ගිහින්. හ්ම්.. ඒ කතාව පැත්තතකින් තියමුකො. අද පින්සර ලමයා මේ පැත්තෙ ආවෙ ලොව කෙටිම ආදර කතාව ගැන කස්ටියට වදාරලා යන්ටැයි කියල. 
      ඔන්න මේ කතා වස්තුවේ කොල්ලගෙ චරිතයට ඉන්නෙ අපි කවුරුත් හොඳින් හඳුනන බුළුගොල්ලේ බුන්ජානන්ද නොහොත් පම්මා, සමාවෙන්ට කෙල්ලගෙ නම නම් දන්නෙ නෑ ඕන්. පම්මා ඉතින් සරසවියට උදේ හවස ගාටන්නේ උගෙ නිල වාසභවනය වෙච්චි බුළුගොල්ලෙ ඉඳලම නොවැ. උගෙ නිල ගමන් සහකරු විදියට කටයුතු කොරන්නෙ සිරිලක සිරි දුම්රිය සේවය ඕං. ඉතින් මේ කොලුවා තම ගමනාගමනය අතරතුරදී ගතවන කාලය උනත් අපතේ යවන්නෙ නෑ. ඒ කාලයත් තම අනාගත සුභ සිද්ධිය උදෙසා යොදා ගැනීම තමා බුවාගෙ ප්‍රතිපත්තිය. ඒ කියන්නෙ කෝච්චියේ ගමන් ගන්නාවු නාරිලතාවන්ට උගෙ රබර් අක්ෂිය දැමීම තමා ඉතින්. 
        ඔන්න ඉතින් සරසවිය වටේටම මල් පිපිච්ච එකෝමත් එක සුන්දර දවසක පම්ම කොලුව සරසවියෙ අධ්‍යාපන කටයුතු උද්යෝගිමත්ව අහවර කරල හැන්දෑජාමෙ කොලොම්පුරේ ඉඳන් උඩරට බලා යන දුම්රියකට ගොඩවුනා ගෙදර යන්ටයි කියල. ඔහොම ටික දුරක් යද්දි ඌ ස්ථානගත වෙලා ඉන්න ඉස්පොට් එකට බල්ටි දෙකතුනක් එහායින් උගෙ වයසට සාපේක්ෂව නාඹර ගැටිස්සියක් ඉන්නවයි කියල උගෙ ලදරං මීටරේට සෙන්ටිමෙන්ටල් වෙනව. අන්න ඒ මොහොතේ පටන් මීට බොහෝ කලකට ඉහතදී උගේ ගුරු දේවයානන් වහන්සේ ඌ අරභයා ප්‍රකාශ කල ඒ උදාන වාක්‍ය (ඇහුවොත් නුඹට.., නැතිනම් රටට) උගෙ හිත ඇතුලේ රැව් පිළිරැව් දෙන්ට පටන් ගන්නවා මිත්‍රවරුනි. ඒ උදාන වාක්‍යයෙන් උපදවා ගත් මහත් වීර්යයෙන් යුතුව පම්මා කෝච්චියේ පැද්දීමේ බලයද උපරිම අයුරින් උපයෝගීකරගෙන එම හඳුනානොගත් නාරිලතාව ආසන්නයෙන් සාර්ථකව කක්ෂගතවෙනවා ලමායි. ඉතින් එහෙම කක්ෂගතවීමෙන් අනතුරුව නමෝ විත්තියෙන් කොරපු කොන්වර්සේසන් එක පහත දැක්වේ

           පම්මා: මට නංගිව කලින් දැකලා පුරුදුයි වගේ....
           කෙල්ල: .............. (එක පාරටම පාත්වුන මේ බුවා මොකාද කියල හිතාගන්න බැරිව ඇස් ගෙඩි දෙකත් ලොකු කරගෙන තුෂ්නිම්භූතව බලා සිටී)

ඌ මීට සතියකට කලින් කියවපු  පී.ඩී.එෆ් පොතේ හැටියට බොඩි ලැන්ග්වේජය යහපත් වගේ යැයි හිතපු පම්මා උගෙ දෙවන වචන සැට් එකත් එලියට දැම්මා

           පම්මා: නංගි කොළඹ කැම්පස් එකේද...?

අන්න ඒ මොහොතේ ලොව කෙටිම ආදර කතාව නිමාව පත්කරමින් මෙන්න මෙහෙම වචන ස්වල්පයක් කෙල්ලගෙ මුවින් පිටවුනා කියල තමා පම්මට යාන්තමට වගේ මතක තියෙන්නෙ.

            කෙල්ල: ෂින්ගල තෙරි ඉල්ලෙයි අයියා.....

ඉතින් ඔන්න ඔහොමලු ලොව කෙටිම ආදර කතාව නිමාව දුටුවේ...

Thursday, November 1, 2012

පැණි ආප්ප...෴

ඔන්න පහුගිය දොහක ඉදන් අර පන්නිපිටියෙ බෝතල් පත්තරකාර බොරිස් කොලුවයි පින්සර කොලුවයි හවස් ජාමෙට යුනිවෙසිටියෙ වයි ෆයි උපාධි කටයුතු අහවර කරලා ගස්යාය පැත්තෙ තිබුන පොඩි සයිවර කඩේකින් සප්පායම් වෙන්ට පුරුදුවෙලා හිටියා. ඔයාලා දන්නව ඇතිනෙ බොරිස් කොලුවට කෑමක් කිව්වොත් මොනදේ උනත් දිවියලෝක රස දැනෙන එකා කියලා. ඔන්න ඔහොම සතියක් දෙකක් යනකොට මේ රසබර කතාව අර සාත්තර කියල ජීවිතේ ගැටගහගන්න බයාස්තර කොලුවටයි හද්ද පිටිසර ඉදලා කොලොම්පුරට පය ගහපු මෙරිය කොලුවටයි මේ බොරිස් කොලුව රස කොරලා කියලා තියෙනව. ඉතින් ඒ රසවත් කතාව අහපු උන්දෙන්නටත් හවස් ජාමෙ වෙනකන් ඉවසගෙන ඉන්ට බැරිව බොරිස් කොලුවත් එක්ක මද්දහන පහුවෙච්ච ගමන්ම වගේ හූ දෙකහමාරක් විතර දුරින් තියෙන ගස් යායට පයින්ම ගිහින්. සයිවර කඩේ පුටු දෙකතුනකට හරිබරි ගැහුන කස්ටිය වේටර කොළුවට කතාකොරලා කිව්වලු උන් කන්ඩ කැමති ආසම ආස කෑම ගේන්ටැයි කියල. අන්න ඒ කතාව මෙහෙමයි වෙලා තියෙන්නේ.

              "මල්ලි, අපිට පරාටා ගේන්ඩ..."
              "අයියා.., පරාටා නම් නෑ.., ආප්ප තියෙනවා..."
              "ආ.., එහෙනම් මල්ලි.. බිත්තර ආප්ප තුනකුයි.. ප්ලේන් ආප්පයි ගෙන්ඩ..."
              "අයියා.., පැණි ආප්ප විතරයි තියෙන්නෙ.."
              "අප්පා මල්ලි.., වෙන මොනවද කන්ඩ තියෙන්නෙ...?"
              "පුස්නාප්ප තියෙනවා...."

ඔච්චර වෙලාවක් මේ සංවාදෙ දිහා බලන් හිටපු මෙරියා ඉහවහ ගොහින් තිබුණු බඩගින්නෙන් යුතුව වේටර කොලුවගෙන් මෙන්න මෙහෙම ඇහුවලු

               "මල්ලි..., ඒ ආප්ප කන්ඩ බැරිතරම් පුස් ද?.."

ඒක අහපු බයාස්තර වැඩේ දෙල් වෙන්ට යන බව දැනගෙන සයිවර කඩෙන් පැණි ආප්පෙකුත් ඕඩර කොරල කාලා අහවර උනාට පස්සෙ වේටර කොලුවට අයෙත් කතාකොරලා කිරිතේ ඉල්ලලා. ඒත් ඉතින් ඒ කඩේ කිරිතේ තිබිල නෑ ඔන්න. ඒ පාර ප්ලේන්ටි ඉල්ලා අවාසනාවට ඇත්ත කතාවක් කියල ප්ලේන්ටියක් වත් තිබිල නෑ. අන්තිමට මෙරියා ඉතාම බැගෑපත් ආකාරයෙන් වේටර කොලුවගෙන් මෙහෙම ඇහුවලු.

"අනේ මල්ලි.., අඩුම තරමෙ මට උණුවතුර ටිකක් වත් දෙනවද...?"

අනේ ඉතින් කාගෙ අවාසනාවද මන්ද අඩුම තරමෙ උණුවතුර ටිකක් වත් උන්ට බොන්ට තිබිල නෑ ඕං.., ඉතින් අන්තිමට කස්ටියම ඇල්වතුර ටිකක් නිවල බීල බොරිස් කොලුවට පලු යන්න බැණ බැණ යන්ට ගියාලු...

Saturday, June 30, 2012

ටිකිරි මොලේ....෴

හ්ම්..., කස්ටිය කාලෙකට පස්සෙ. කොහෙද ඉතින් එන්ට එන්ටම මේ පැත්තෙ ගොඩවදින්ට වෙලාවක් කාරිය බොහොම අඩුයි නෙව. පහුගිය දොහක අපේ පොඩිඋන්ට පිලිගැනීමේ වෙල්කම් එක කොලා ඔන්න අපි. ඉතින් ඔය අතරෙ අපේ උන්ට සිද්ද වෙචිචි ජිගිරිබිරිස් ගොඩක් තිබුන දැන්නම් ඉතින් ඒව අමතකත් වෙලා.
    කොහොම හරි මේක ඒ දවස් වල සිද්දවෙච්ච් අපෙ පම්ම කොලුවගෙ මන්ද මොංගල් ක්‍රියාදාමයක් ව්ටා ගෙතුන කතාවක්. ඔන්න ඉතින් වෙල්කම් උත්සවේ හෙට අනිද්දා කියල අපෙ කස්ටිය රෑ ජාමෙත් කැම්පස් එකට වෙලා වෙල්කම් එකට ලක ලැහැස්ති වෙනව. ඔහොම දවසක පාන්දර ජාමෙක පින්සර ලමයා එහෙට මෙහෙට කැරකි කැරකි ඉන්න වෙලාවක පම්මා කොලුව පුටුවක බරවෙලා බර කල්පනාවක ඉන්නව දැක්ක. මොකක්ද පුරස්නෙ කියල හොයල බලන්ටෙයි කියල පින්සර කොලුව පම්මට කිට්ටු කොලා.

මොකද බන් කම්පනා කොරන්නේ....?
    නෑ බන් මම මේ පාන්දර කෝච්චියෙන් කුරුණෑගල යන්ටයි කියල කම්පනා කොලේ....
ඒ මොකද බන් මේ හදිසියෙම....?
    බලපන් බන් මගෙ කොණ්ඩෙත් වැවිල... කොණ්ඩෙ කපාගෙන එන්ට තමා යන්නෙ..
ඇයි හත්ඉලව්වේ.., කොණ්ඩෙ කපන එවුන් කුරුණෑගල විතරද ඉන්නෙ..?
   
    නෑ බන්, කොළඹ කොණ්ඩෙ කපන එවුන් කොණ්ඩෙට එක එක සෙල්ලම් හැත්තෑවක් විතර දාල රුපියල් දෙතුන්සීයක් ගන්නව... ඒකට කුරුණෑගල එවුන් දන්න විදියට කපල රුපියල් හැත්තෑවයි ගන්නෙ... අනික මම කෝච්චියෙ සීසන් එකත් අරන් නේ තියෙන්නේ. එහෙම ලේසියෙන් කෝච්චි වලට ලාභ ලබන්ට දෙන්ට හොඳ නෑ...

    ඉතින් එහෙම කියපු පම්මා පාන්දර කෝච්චියෙන් කුරුණෑගල ගියා. කොහොමද අපෙ පම්මගෙ ටිකිරි මොලේ.. ඒත් ඉතින් ගැටළුවකට උනේ මේකයි. කොලුව අපේ සංගමේ බඩගරිකයා, හදිසි මුදල් අවශ්‍යතාවයක් ඇතිඋන නිසා පම්මට කුරුණෑගලට ගියපු ගමන්ම ආපහු එන කෝච්චියක කොළඹ එන්න උනා. කොණ්ඩෙ කපගන්නෙත් නැතිවම. 

Thursday, May 3, 2012

ජැකී චෑන්....෴

ඔන්න ඉතින් අපේ කස්ටියක් මේ දවස් වල හෝ ගාලා කෙටි චිත්‍රපට හදනවා. ඇඟේ අමාරුවකට එහෙම නෙවෙයි. අපේ අධ්‍යාපන කටයුත්තක් සඳහා තමා කස්ටිය ඔයහැටි දඟලන්නෙ. ඉතින් පින්සර ලමයා, පාප්පුවා, පම්මා, බකිලා, නරියා සහ පඩියා ඇතුලු තවත් තුන්හතර දෙනෙකුත් එකතුවෙලා කෙටි චිත්‍රපටියක් කොරන්ටයි කියලා ලෑස්තිය. නළුවා සහ නිලිය වසයෙන් තෝරගෙන තිබුනෙ අපේ අසහාය නළු කුකා සහ නැගී එන පරපුරේ නවක නිළි වංගි නගා. ඔන්න ඉතින් සූටිං බූටිං ටික අහවර කොරලා රෑ ජාමෙ චිත්‍රපටය සංස්කරණය කරන්න කියලා ලෑස්ති උණා. චිත්‍රපටි හදනකොට ඉතින් අපි වගේ ආධුනික කොලුවන්ට වැරදෙනව නොවැ ඉතින් වීඩියෝ ගත වෙලා තිබුණ වැරදුණ අබිලික් ජවනිකා බල බලා හිනා වෙවී තමා කස්ටිය හිටියෙ. ඔන්න ඔය අස්සේ පම්මා දන්න දෙයකුත් නෑ නොදන්න දෙයකුත් නෑ නෙ කියලා මෙන්න මෙහෙම කතාවක් කිව්වේ.

        "ඔව්වා මොනවද බන් දවසක් ජැකී චෑන් ෆිල්ම් එකක රඟපාද්දි මිනිහගෙ පස්සට ගිනි ඇවිලිලා. ඉතින් මිනිහා

                   "බුදු අම්මෝ මාව බේරගනියෝ....!!!"

                 කියලා කෑ ගහන්න අරගෙන. ඒ ක දැකපු තව පොරක් දුවගෙන ඇවිත් ජැකී චෑන්ගෙ පස්ස පාගලා ගින්න නිවන්න. එතකොට ජැකී චෑන් උට බනිනවා

                   "යකෝ මගෙ පස්ස පාගන්නේ නැතිව වතුර දාලා ගින්න නිවපං...!!"
        කියලා මහ හයියෙන් කෑගැහුවා."

ඉතින් අපි පස්සෙ පම්මගෙන් ඇහුවෙ ජැකී චෑන් ලංකාවෙ පොරක් ද කියලා විතරමයි.

Friday, April 27, 2012

කුස රජ්ජුරුවෝ....෴

ඔන්න ඉතින් අපේ හුංගා කොලුවගෙ මව්දෙමව්පියෝ පහුගිය දොහක කොලුවවත් එක්කාසු කොරගෙන පිචෑර් එකක් බලන්ටයි කියලා ගොහින් නොවැ. මේ දවස් වල කවුරුත් කතාකොරන "කුස පබා" පිචෑර් එක තමා හුංග කොලුවා බලලා තියෙන්නෙ. ඉතින් පහුවදා උදෙන්ම අපෙ රොයියා කොලුවත් එක්ක බවනට පාත්වුන හුංගාගෙ පළමුවෙනි කාරිය උනේ "කුස පබා" ගෙ තොරණෙ විස්තරේ එතන හිටපු උන්ට දිගාරින එක. තොරණෙ විස්තරේ කස්ටිය කට ඇරගෙන අහ අහ ඉන්න වෙලාවෙ රොයියා කොලුවට පුරස්නෙයක් මතුවෙනවයි කියන්ටකෝ. ආයෙ මොකද කියලා හුංගගෙන් මේ ගැන අහලා සැක හැරගන්ට කියල උගෙ පුරස්නෙ හුංගගෙන් ඇහුව.

ඈ බං.. හැබෑටම ඔය කුස රජ්ජුරුවෝ ලංකාවෙ පොරක් නෙවෙයි නේද?

ඒ පුරස්නෙට හුංගට අසූහාරදට මල පැනපි...

ඇයි යකෝ... ජැක්සන් ඇන්තනි ලංකාවෙ එකෙක් නෙ...

හුංගා ගත් කටටම කියපි..

Thursday, April 5, 2012

කෙවින් නෑෂ් vs ජෝන් නෑෂ්

ඔන්න ඉතින් අපේ කස්ටියක් මේ ලඟදි සිරීපාදෙ ගියානේ.... රත්නපුරා පාරෙන් තමා කරුණා කලේ... රත්නපුරේ ඉඳලා පැයක් විතර තව බස් එකක යන්න උනා....
ඉතින් කම්මැලි නිසා කට්ටිය පොඩි චැට් එකක් දාගෙන ගියේ...
ඔන්න ඉතින් මේ කතාවෙ කතා නායකයා වන "පරලා" රෙස්ලින් ගැන තමන්ගේ දැනුම බෙදා දෙන්න ගත්තා....
කොහොම හරි මේ චැට් එකේදි පරලා පාවිච්චි කරන අන්වර්ථ නම "නෑෂ්" කියන එකත් ඇදිලා ආවා....
ඉතින් පරලා මේකෙ සුල මුල කියන්න අරන් "කෙවින් නෑෂ්" කියලා රෙස්ලින් ශූරයෙක් ගැන කියන්න ගත්තා.....

ඔය අතරතුරේ මේ කතාව සාවදානව අහගෙන හිටි අපේ හුංගාත් කටහඩ අවදි කලා....
"මචන් උඹ අහලා තියෙනවද​ ජෝන් නෑෂ් කියලා එකෙක් ගැන??​".....

පිළිතුරු නොදීම හරි නෑ කියලා හිතිලද කොහෙද  පරලාත් ඉතින් පිළිතුරු දුන්නා
"ආහ් ඔව්, කෙවින් නෑෂ් ගෙ මල්ලිනෙ,, මිනිහා දැන් රෙස්ලින් ගහන් නෑනෙ".....

ඔන්න ඉතින් හුංගා කියපි.....
"මචන් ජෝන් නෑෂ් කියන්නෙ mathematician කෙනෙක්"


Sunday, March 25, 2012

අර්ධ පාරගම්‍ය පටලය...෴

        ඔන්න මේ කියන්න යන්නේ පැරණි කතාවක කියන්න බැරිවෙච්චි අතුරු කතාවක්. කස්ටියට මතක ඇතිනේ අර සිදරං සහ තවත් කතා වල කියවුන අපේ තන්තිරිමලේට ගිය ගමන. අන්න එදා වෙච්ච සිදුවීමක් තමා මේ.
ඔන්න එදා දුම්රියෙන් අනුරාධපුරයට යන්න බැරිවෙච්චි අපිට යන්න වුණේ බසයෙන්.  ඒ වනවිටත් මන්නයා ඇතුගල පාමුල බස් නැවතුමට වාර්තා කරල තිබුනෙ නැති නිසා. ඇතුගල නැවතුමේ, අනුරාධපුර බස් නැවතුම අසල පොඩ් හේත්තුවක් දාගෙන පින්සර ලමයා ඉන්න වෙලාවේ.  ළඟ හිටපු පම්මා කියන මොංගල් කතා ඕනැවට එපාවට වගේ අහගෙන හිටියෙ. පම්ම  ඉතින් දන්න දෙයකුත් නෑ නොදන්න දෙයකුත් නෑ කියල කස්ටිය දන්නව ඇතිනෙ. නොයෙකුත් කතා අස්සෙන් මූ ඉගැන්වීම නමැති මාතෘකාව හරහා අ.පො.ස සා.පෙල විද්‍යාව ගැන කතා කරන්න පටන් අරගෙනයි තිබුනෙ. ඒ මදිවට අර දෙනෝ දාහක් මැද්දෙ මේ යකා සා.පෙල විද්‍යාව අච්චු පොතකුත් දිගෑරගෙන. ඒකෙ පළමු පාඩම  පින්සර  කොලුවට ව්ස්තර කරමින් හිට්ය. පින්සරට දැන් මේකගෙ කියවිල්ල හොඳටම එපාවෙලයි තිබුණෙ.  ඔන්න එකපාරටම පම්මා මෙහෙම අහනවා.

    "ඒයි..., උඹ දන්නවද නිවසේදී අර්ධ පාරගම්‍ය පටලයක් නිර්මාණය කරගන්නා අයුරු...?"
    මොකක් කිව්ව...?
    අර්ධ පාරගම්‍ය පටලයක් නිර්මාණය කරන හැටි...? අර බිත්තර කට්ටෙන්...

ඒ පාරනම් පින්සර කොලුවට අසූ හාරදට මල පැන්නා..
අනේ යකෝ...., ටිකක් කට වහගෙන හිටපන්කො... අද උදේ ඉදන් කට්ට කාලා එපා වෙලා ඉන්න වෙලාවෙ තෝ මේ මඟුල් පටලයක් ගැන කතාකරනව. @#$%^&*....!!!!
අන්න ඊට පස්සෙ පම්ම අච්චු පොතත් බෑග් එකට කොටාගෙන පාඩුවෙ කට වහෙගෙන හිටිය, ඒත් හැබැයි ටික වෙලාවකට.