Saturday, April 13, 2013

කෙටිම ආදර කතාව.......෴

ආයුබෝවන්ඩ හුඟ කාලෙකින් මේ පැත්තෙ ආවෙත් නෑ නොවැ. කොහෙද ඉතින් අපි දන්නෙත් නැතිවම කාලය ගතවෙලා ගිහින්. හ්ම්.. ඒ කතාව පැත්තතකින් තියමුකො. අද පින්සර ලමයා මේ පැත්තෙ ආවෙ ලොව කෙටිම ආදර කතාව ගැන කස්ටියට වදාරලා යන්ටැයි කියල. 
      ඔන්න මේ කතා වස්තුවේ කොල්ලගෙ චරිතයට ඉන්නෙ අපි කවුරුත් හොඳින් හඳුනන බුළුගොල්ලේ බුන්ජානන්ද නොහොත් පම්මා, සමාවෙන්ට කෙල්ලගෙ නම නම් දන්නෙ නෑ ඕන්. පම්මා ඉතින් සරසවියට උදේ හවස ගාටන්නේ උගෙ නිල වාසභවනය වෙච්චි බුළුගොල්ලෙ ඉඳලම නොවැ. උගෙ නිල ගමන් සහකරු විදියට කටයුතු කොරන්නෙ සිරිලක සිරි දුම්රිය සේවය ඕං. ඉතින් මේ කොලුවා තම ගමනාගමනය අතරතුරදී ගතවන කාලය උනත් අපතේ යවන්නෙ නෑ. ඒ කාලයත් තම අනාගත සුභ සිද්ධිය උදෙසා යොදා ගැනීම තමා බුවාගෙ ප්‍රතිපත්තිය. ඒ කියන්නෙ කෝච්චියේ ගමන් ගන්නාවු නාරිලතාවන්ට උගෙ රබර් අක්ෂිය දැමීම තමා ඉතින්. 
        ඔන්න ඉතින් සරසවිය වටේටම මල් පිපිච්ච එකෝමත් එක සුන්දර දවසක පම්ම කොලුව සරසවියෙ අධ්‍යාපන කටයුතු උද්යෝගිමත්ව අහවර කරල හැන්දෑජාමෙ කොලොම්පුරේ ඉඳන් උඩරට බලා යන දුම්රියකට ගොඩවුනා ගෙදර යන්ටයි කියල. ඔහොම ටික දුරක් යද්දි ඌ ස්ථානගත වෙලා ඉන්න ඉස්පොට් එකට බල්ටි දෙකතුනක් එහායින් උගෙ වයසට සාපේක්ෂව නාඹර ගැටිස්සියක් ඉන්නවයි කියල උගෙ ලදරං මීටරේට සෙන්ටිමෙන්ටල් වෙනව. අන්න ඒ මොහොතේ පටන් මීට බොහෝ කලකට ඉහතදී උගේ ගුරු දේවයානන් වහන්සේ ඌ අරභයා ප්‍රකාශ කල ඒ උදාන වාක්‍ය (ඇහුවොත් නුඹට.., නැතිනම් රටට) උගෙ හිත ඇතුලේ රැව් පිළිරැව් දෙන්ට පටන් ගන්නවා මිත්‍රවරුනි. ඒ උදාන වාක්‍යයෙන් උපදවා ගත් මහත් වීර්යයෙන් යුතුව පම්මා කෝච්චියේ පැද්දීමේ බලයද උපරිම අයුරින් උපයෝගීකරගෙන එම හඳුනානොගත් නාරිලතාව ආසන්නයෙන් සාර්ථකව කක්ෂගතවෙනවා ලමායි. ඉතින් එහෙම කක්ෂගතවීමෙන් අනතුරුව නමෝ විත්තියෙන් කොරපු කොන්වර්සේසන් එක පහත දැක්වේ

           පම්මා: මට නංගිව කලින් දැකලා පුරුදුයි වගේ....
           කෙල්ල: .............. (එක පාරටම පාත්වුන මේ බුවා මොකාද කියල හිතාගන්න බැරිව ඇස් ගෙඩි දෙකත් ලොකු කරගෙන තුෂ්නිම්භූතව බලා සිටී)

ඌ මීට සතියකට කලින් කියවපු  පී.ඩී.එෆ් පොතේ හැටියට බොඩි ලැන්ග්වේජය යහපත් වගේ යැයි හිතපු පම්මා උගෙ දෙවන වචන සැට් එකත් එලියට දැම්මා

           පම්මා: නංගි කොළඹ කැම්පස් එකේද...?

අන්න ඒ මොහොතේ ලොව කෙටිම ආදර කතාව නිමාව පත්කරමින් මෙන්න මෙහෙම වචන ස්වල්පයක් කෙල්ලගෙ මුවින් පිටවුනා කියල තමා පම්මට යාන්තමට වගේ මතක තියෙන්නෙ.

            කෙල්ල: ෂින්ගල තෙරි ඉල්ලෙයි අයියා.....

ඉතින් ඔන්න ඔහොමලු ලොව කෙටිම ආදර කතාව නිමාව දුටුවේ...