Wednesday, December 21, 2011

ජාවා හෑවා....

හෆ්ෆේ මේ පැත්තේ ගොඩවැදෙන්ට සෑහෙන කාලයක් ගියා නොවැ... දැන් ඉතින් ඉස්සර වගේ  පිස්සු බයිලා කෙලින්ට අපේ අයට ටිකක් විතර කාල වේලා නෑ ඔන්න..  පින්සර ලමයාටත් සෙමෙස්ටරය මැද ලැබුණ නිවාඩුව අස්සේ නොකියා හිටියොත්  කට කහන අපේ එවුන්ගේ කයි කතන්දරයක් දෙකක් කියලා යන්ට ඕනැයි කියලා තමා මේ පැත්තේ  ගොඩවැදුනේ ඕං....

දැන් ඉතින් අපි දෙවැනි වසරේ නෙව. අපිටයි කියලා පොඩිඑවුන් ටිකකුත් දැන් ඉන්නව ඕං.  නවක පොඩි ඈයො ටික හදල වඩලා ගන්ටයි කියලා අපි එයාලට නම්නීකොරනය කියල වැඩසටහනක් කිරියාත්මක  කොරලා තිබුනේ  උන්දැලා අපේ සරසවියට ආපු මුල් දොහේ. ඒ කාලේ ඉතිං පොඩි කොල්ලන්ට කෙල්ලන්ට එන්ටැයි කියලා ආගිය ව්ස්තර කතා කොරනවා දැනහඳුනා ගන්ටත් එපැයි කව්ද මුන්නැහෙලා කියලා. ඔන්න ඔය අතරෙ  අපේ ජාවා කොලුවට වයර් මාරුවක් වෙලා සාටර් උන සිද්දියක් ගැන තමයි  මේ  අකුරු අමුණන්ට හරිබරි ගැහෙන්නේ. අපේ ඇන්න කොලුවටත් ඔය වයර් මාරුවක් වෙලා තිබුනාය කියලා අපේ පාප්පුවා අපේ  කතා වලට වාර්තා කොරලා තිබුනේ මෙයිට ඉස්සරල.  හ්ම්.. අපි කතන්දරේට එන්ටොර් වෙමුකෝ..
    ඔන්න අපේ පොඩි ඈයොන්ගෙ බැච් එකේ හිටියා කොයි වෙලාවෙත් ලැජ්ජාවෙන් මූණු පොඩිය රතු කොරගෙන හිටපු පුංචි නඟා කෙනෙක්. අපි එයාට "තුත්තිරි" කියලයි නම් දීල තිබුනෙ මට මතකෙ හරි නම්.  දවසක්  අපේ බවනෙදි අපේ කස්ටියක් එකතු වෙලා ඔය පොඩි ඈයො ඉන්ටෙව් කොරන වෙලාවක ඔය කියපු තුත්තිරි නඟාව ඉන්ටෙව් එකට කැඳෙව්වා ඔන්න. ඉන්ටෙව් බෝඩ් එකේ ජාවා, පාප්පුවා,පින්සර සහ තවත් හතර පස් දෙනෙක්ම හිටියා මතකෙ හැටියට. 
දැන් ඉතින්  උපන් දිනය, උපන් ස්තානය, නම,  නමේ තේරුම , ගම , ගමට නම යෙදුන හැටියෙන් පටන් ගත්තාම  ගඩාෆි  ගේ බාප්පගෙ පුතාගෙ නම දක්වා තියෙන පුරස්න  ඉන්ටෙව් බෝඩරයෙන් ඉදිරිපත් කෙරෙන්ට නියමිතයි.  ඔය අතර මඟකදි  මෙන්න මෙහෙම පුරස්නෙයක් ඉදිරිපත් කෙරෙනව.

                         "නංගි, තාත්තා මොකද කරන්නේ...?"

අනේ කෙල්ල බොහොම අමාරුවෙන් ඇදල පැදල, ඇඹරි ඇඹරි මෙහෙම කියනව

                         "මහජන සෞඛ්‍ය පරීක්ෂක"

ඒ වචන ටික බොහොම අමාරුවෙන් වෙන්ටැති අමුණා ගන්ට ඇත්තේ. මොකද ඒ කාලෙදි පොඩි ඈයොන්ට කඩු හරඹ දැක්වීම සපුරා තහනම් කොරලා නේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ පාප්පුවා ඇහුවා
                         "ආ.. නංගිගෙ තාත්තා PHI කෙනක්ද..?" කියලා..

ඔන්න ඔයවෙලාවේ අපෙ ජාවා ලොක්කා කොහෙදෝ මනෝපාරක ඇවිද ඇවිද ඉඳලා පියවි ලෝකෙට අඩිය තිබ්බා විතරයි. ජාවා එකපාරටම පුදුමෙන් වගේ
                          " මොනවා, PHP.....!!! හා... හා... හොඳයි හොඳයි..."
          කස්ටියම මේ ජාවා දෙලොව පටලෝගෙන කියපු කතාව කොහෙන් දිරවා ගන්ටදැයි කියන අමාරුවෙන් වගේ තුස්නිම්බූතව මොහොතක්  බලන් ඉන්ට ඇති. ඉන් පස්සේ කස්ටිය පොලොවෙ හැපි හැපි හිනාවෙන දිහා ජාවා තුස්නිම්බූතව බලන් හිටියා හාංකවිසියක් වත් නොදැන.
    මොනවා කොරන්නද ජාවෝ. මේ ලෝකේ අපිට වැඩියෙන්ම ඇහෙන්නේ  JAVA,PHP,HTML,CSS,C යනාදී කොම්පීටර සම්බන්ද වචන නොවැ.   මේ දවස් වල වැස්ස ගොරවන එක ඇහෙනව ඇත්තෙත් Domain... Domain... කියලා වෙන්ටැති නේ....

Monday, November 21, 2011

ඇන්නාගේ සිහිකල්පනාව

ඔන්න උණු උණු කැවුම් වගේ news එකක්. මේක උනේ අද හැන්දෑවේ.....පොඩි උන් බෝධි පූජාව එහෙම කරලා යන්න නැග්ග බස් වල,,,, මමත් හිටියේ අයිනක. කළු තඩි එකෙකුයි තව එකෙකුයි එක්ක කතා කර කර ඉන්නකොට අපේ ඇන්න නැග්ග බස් එකට පොඩි කෙල්ලෝ දෙන්නෙකුත් එක්ක. අප්පා බලන්න එපෑ ඇන්නගේ මූණ.....යකා වගේ,,,, දැන් ඔන්න අර කළු තඩි එකාව අල්ලාගෙන බනින්න ගත්ත.
උබලට කිව්වා නේද එකට යන්න කියල ....බලපන් උබ මේ බස් එකේ යන මේ කෙල්ලෝ දෙන්නව මග දාල අවා නේද යකෝ .....
එතන ඉදන් ඇන්න රුපියල් 12 දුරට හරියන්න කෝටියක්‌ විතර වටිනා බැනිල්ලක් බැන්න.එකේ topic එක සිහිකල්පනාව...
උබලට කිව්වා නේද සිහිකල්පනාව තියන් වැඩ කරන්න කියල ....බලපන් උබේ සිහිකල්පනාව.....
ඔහොම යනකොට කොන්දොස්තර තට්ටු කළා ඇන්නට...
"මල්ලි දෙල්කඳ නේද බහින්නේ.. බහින්න මේ දෙල්කඳ" කිව්වා...
අපිට හිනා,,,,, පොඩ්ඩක් චොර වෙලා ඇන්න බැස්ස.... ඉවරයි කියල හිතුවට කතාව ඉවර නැ. ඔන්න බැහැල ටිකක් වෙලා යද්දී සිහිකල්පනාව ගැන විශේෂ දේශනයට සවන් දුන්න පොඩි උන් දෙන්න හිනා වෙනවා. ටිකකින් මට කොළ පාට බෑග් එකක් දීල කියපි
"අයියේ මේ බැග් එක අර බැහැපු අයියගේ" කියල.
පොඩි උන් දෙන්න කට වහන් හිනා වෙන අතරේ මම බැග් එක ඇන්නට විසිකලා.
අප්පා බලන්න එපෑ ඇන්නගේ මූණ.... තැලිච්ච කජු පුහුලමක් වගේ......

Wednesday, October 19, 2011

මොණරෙක් මෙව්වා කොරනවෝ.....

ඕන්න පහුගිය දොහක අපේ ගොබිලෝ දහ පාලොස් දෙනෙකුයි අපේ අයියලා කස්ටියකුයි ගියා නොවැ අපේ පුරාණ පූජනීය නගරෙ පැත්තේ ඉස්කෝලෙක ලමා ලපටින්ට කොම්පීටර් පොඩ්ඩ්ක් කියලා දීල එන්ටැයි කියලා.  ඉතින් ඕං.. අපේ ගමන් සගයා වෙන දුම්රියෙන් තමා යන්ට ගියේ. අපි යනකොට ඉතින් අපිටම කියලා දුම්රිය මැදිරියක් වෙන්කරලා ගන්ට ඕනෑ එහෙම නැතිනම් අපි දඟලන විදියට අනිත් මගීන්ට හානි පැම්ණෙන්ට  වෙනවා නොවැ.
                අපි අනුරාධපුරේ පැත්තට කිට්ටු වුනේ ඉතිං හැන්දෑකොරේ. ඒ වෙලාවට   වෙල් යායවල් වල , ළඳු කැලෑ  වල ලස්සනට මොණරුන්  එහෙ මෙහෙ ඇවිද ඇවිද ඉන්නවා. දුම්රියෙන්  යනකොට මේ දර්ශණය හරි ලස්සනට බලන්න පුලුවනි. ආහ්... කියන්ට බැරිවුණා නොවැ..., අපේ කොල්ලො සැට් එකේ මේ දවස් වල කාගෙත් කථා බහට ලක් වූ බයාත් ඉන්නවා ඕං.. මනුස්සයාට මේ මොණරුන්ගේ සුන්දර දසුන් නිසා ලොවෙත් ආතල් එක වැඩිවෙලා. දුම්රිය මැදිරියේ කවුළුවක් ලඟ වාඩිවෙලා දකින දකින මොණරා ගනන් කරනවා. ඔය පිහාටු අඩුවෙන් තියෙන්නේ ගෑනු මොණරු ලමයින්ට කියලත් කවුදෝ බයාට කියලා දීලා. අනික් එවුන් ඉතින් ඒ පිළිබඳ වැඩි උනන්දුවක් නැතිව තාලෙට සින්දුවක් කියාගෙන යනවා. ඔහොම ටිකදුරක් යනකොට එකපාරටම බයා මහ හයියෙන් කෑ ගහන්න ගත්තා මෙහෙම.

        "ආං... මොණරෙක් මෙව්වා කොරනවෝ....... ආං... මොණරෙක් මෙව්වා කොරනවෝ......."

                   අපේ අනිත් එවුන් ඒ සද්දෙට, තල තලා හිටපු බොංගො බෙලෙක්ක කෑලිත් පැත්තකට විහික්කොරලා දඩි බිඩි ගාලා ලඟම තිබුණු ජනෙල් කවුළු වලින් එලියට එබුණා මේ බයා දැකපු මොණරා ඇත්තට මොකක්ද කොරන මෙව්ව එක කියලා බලන්ඩ. මෙව්ව දැකල පණපලයන් ලබන සුමානෙ කිව්වලු. වෙල් යායක් මැද්දෙ ලොකු මොණරෙක් ලස්සනට පිල් විදහගෙන ඉන්නවා.. හරිම ලස්සනයි. ඉතින් ඒක බලලා ඉවර වෙලා  කස්ටිය බයාගෙන් ඇහුවා

        "මොකද උඹ මෙව්වා කොරනවෝ කියලා කෑ ගැහුවෙ..?"

             කියලා. බලනකොට මිනිහා ඒකට  කියන්නෙ "පිල් විදහනවා" කියලා දැනගෙන ඉඳලා නෑ ඕං... ඉතිං අපි බයාට කියලා දුන්නා ඌ ගෑනු ලමයින්ගේ අත බලා සාත්තර කියලා ගොඩ යන්ට ට්‍රයි එක දානවා වගේ තමා මොණරත් පිල් විදහාගෙන ට්‍රයි කොරන්නෙ මොණර කෙල්ලක් එක්ක ගොඩයන්ට කියලා. ඒක අහලා බයාට හිතෙන්ට ඇති මටත් මොණරට වගේ පිල් තිබුණා නම් කියලා. මොකද අත බලා සාත්තර කියන වැඩෙත් අබ්ලික් නොවැ....

Thursday, October 13, 2011

සාපිනා සමඟ සාත්තරයක්....

ඔන්න අපේ සාත්තර බයා මේ ලඟකදි ඉඳලා අත බලා සාත්තර කියනවැයි කියන්නේ. මිනිහා නමෝ විත්තියෙන්  ඔය වැඩේ ආරම්භ කොරලා තියෙන්නේ ආදර කන්ද නගින දවසේ නොවැ. ඒ නිදාන කතාව නොකියා හිටියොත් ඉතින් මට නින්ද යන්නෙත් නෑ ඕං.. හොහ්.
             ඔය අපේ සාපිනා කෙල්ල ඉන්නේ, ආන්න එයාත්  ආදර කන්ද නගින්න ගියානේ. හප්පේ ටික දුරයි සාපිනාට කන්ද නගින්න පුලුවන් උනේ තනියම. ඉතිරි ටික යන්න බැරිව මූණත් රතු වෙලා ඔහේ හිනා වෙවී ඉන්න කොට අපෙ සාත්තර බයාත් හැරමිටියක් ඇන ඇන ඔතනින් යන්න ඇවිත්.  ආනේ සාපිනා දැකපු බයාගේ හිත  වෙඬරු පිඩක් වාගේ උණු වෙලා.  ඉතින් සාපිනාගෙ අතින් අල්ලාගෙන සාත්තර බයා හෙමිහිට කන්ද නගිනවාලු ඔන්න. ඒ අතරෙ සාත්තර බයා සාපිනා ගෙ අත බලලා හෝ ගාලා සාත්තර කියනවාලු.

        "සාපිනා කෙල්ලෙ මට පේනවා ඔයාට පොකිරිස්සෙක් වගේ දඬු දිග හරි සුවීට් කොල්ලෙක් සැට් වෙනවා ඕං.... හොහ් හොහ්... වෙරි නයිස්... එයා ඔයාට හම්බවෙන්නෙ කන්දක් නගින්න ඔයාට උදව් කොරන්න   ඇවිත්...  ඔයා මාර ලකී නෙව.."

      අනේ ඉතින්    මුගේ ගල් පෙරලෙන බොරු නිසා අපේ කන්ද නගින එවුන් අඩිය තිය තියා යන ගල් පවා පෙරලෙනවා. කෝකටත් හිනා වෙන සාපිනාත් ඉතින් හිනා වෙවී බයාගෙ හොර සාත්තර අහගෙන යනවාලු. මොනව කරන්නද කොහොම හරි කන්ද නැග ගන්නත්  එපැයි.  ඔන්න ඉතින් ඔහොම කන්දේ මැද හරියෙ තියෙනවා මඳ බෑවුමක් සහිත තැනි තලාවක්. ඒ හරියට ආවත් බයා නෙමෙයි සාපිනාගෙ අත බලා සාත්තර කීම නවත්තලා තියෙන්නේ. සාපිනාගෙ පෙර ආත්මය ගැන, යාළුවො ගැන,  ලව් එක ගැන, සම්මාන ගැන එක එක සාත්තර කියනවා. 
                ඔන්න ඉතින්  එතන ඉඳන් දවල්ට එහෙම සප්පායම් වෙලා අයෙත් කස්ටිය කන්ද නගින්න ලෑස්ති. ඔන්න ඔය වෙලාවේ බයා දුවගෙන එනවලු සාපිනා ලඟට. ඇවිත් මෙහෙම කියනවා.

    "කෝ දෙමු බලන්න ඔය අත කෙල්ලෙ... ඔයාගෙ අත හරි සෝක් අතක් නෙව. තව සාත්තරයක් දෙකක් කියලා දෙන්ට ඕන... හොහ් හොහ්...."

        ඒ වෙලාවෙ  සාත්තර බයාට ලැබුණ පිලිතුරට නම්  උගේ හිත වාවන්නේ නැතිව ගියාලු.

            "නෑ බයා.., ඔයාගෙ සාත්තර ඇහුවා ඇති... මට තනියෙන් යන්න පුලුවන්... ඔයා අතින් අල්ලගෙන යන්න ඕනෙ නෑ...."

        කියලා සාපිනා බයාගෙ මූනටම කිව්වලු....  ඉතින් බයාට අර කන්දෙන් පහලට පනින්න හිතුන එක පුදුමයක් නෙමෙයිනේ.. කොහොම උනත් එහෙම වෙන්න නොදී අපේ අනිත් අය බයාව සනසලා. අන්තිමේට සාපිනාවත් අතින් අල්ලගෙන කන්ද නැගපු බයාට කන්ද බහින්න උනේ වෙනත් ගෑනු ලමයි දෙන්නෙක්ගෙ අතේ එල්ලිලා. ඉතින් ඒ වීර ක්‍රියාව නිසා අපේ කොල්ලන්ගෙන් ලොවෙත් හූවක් එහෙම බයාට පිලිගැන්නුවා. 
    හොහ්  හොහ්... ඔන්න ඔහොමයි ලමයිනේ අපේ හොර සාත්තර බයා ගුරුන්නාන්සේ අත බලා සාත්තර කීමෙන් සාපිනා සමඟ ගොඩයෑමට ගත්  ඛේදාන්තමය ලව් ඉස්ටෝරිය ඉවර උනේ.......  ඇත්තටම මේ ලව් ඉස්ටෝරිය ඇතුලේ  දුස්ටයෙක් නෑ වගේ පෙනුනට... ලොවෙත් ඉතා දරුණු දුස්ටයෙක් ඉන්නවා.. ඒ තමයි පන්නිපිටිය පැත්තේ බෝතල් පත්තර බිස්නස් කරන කොල්ලෙක්. හැබැයි ඉතිං දුස්ටයා මේ සීන් එකට එන්ටොර් වෙන්නේ අන්තිමට... අන්තිමට කිව්වට අන්තිමටමත් නෙමෙයි...  එන්ටොර් උනා කිව්වට එන්ටොර් උනාමත් නෙමෙයි.....

Saturday, October 1, 2011

කට කහනවාටය.....

සරසවියේ දෙවන වසර අධ්‍යයන කටයුතු ආරම්භයට ඇත්තේ තවත් මසකටත් අඩු කාලයකි. නිවාඩු කාලය නිසා සියල්ලෝම පාහේ තම නිවෙස්වලට වී කාලය ගතකරමින් සිටී. බොහෝ විට ඔවුන් තම දෙවන වසර ගැන සිහින දකිමින් සිට්නවා වියහැක. කොළඹින් දුර බැහැර එවුන් නැවත කොළඹ තම බෝඩිමට පැමිණීමට සූදානමින් සිටිනවා වියහැක. ඒ අස්සේ මට අපේ  උන්ගේ කියුමක් කෙරුමක් මතක් කරන්නට සිතුනේ වෙන වැඩක් නැතිව ඇඟ කහනවාට විය හැක.
    අපේ එවුන් මොකක් හරි කරන්න පටන්ගත්තාම හැම එකාම ඒ වැඩේ පටන්ගන්නේය. ජිම් යනකොට මුලු බැච් එකම ජිම් එකේය, අපේ එවුන් ස්විමිං පූල් එකට යනවාට කියන්නේ රෙදි අපුල්ලන්න යනවා කියලාය. රෙදි අපුල්ලන්න යන කාලෙටත් පූල් එක පුරවලා අපෙ එවුන්ය. අපේ පීනන්න බැරි එවුන් පීනන්න පුරුදු වෙන එක හොඳ වැඩක් ය.   මකුවා වැනි පීනුම් පිළිබඳ විශාරද ලා, නොදන්න එවුන්ට පිහිනුම පිළිබඳ කුප්පි දමති. ඒ කුප්පි වල පිහිටෙන් වතුරට දැමූ විගස පිටි මුට්ටයක් වගේ ගිලුණු පාප්පුවා වැනි උන්ටත්, පිහිනුම පිළිබඳ සියලු න්‍යායාත්මක කරුණු පමණක් ප්‍රගුණ කල පම්මා වැනි උන්ටත් වතුරට දැමූ පසු යන්තම් අතපය වනා එහෙට මෙහෙට පොඩි සෙල්ලමක් දැමිය හැක.
                   ඒත්  අපේ එවුන් පූල් ගිහින් ඇදුම් ඒක අමතක කරලා එන්නේ ඇයි කියලා මට හිතාගන්නට බැරිය. මේ ළඟදි නිවාඩුවට මම ගෙදර ඇවිත් ඉන්න වෙලාවක මට අපේ එකෙක්ගෙන් කෝල් එකක් ආවේය. ඌ කෙලින්ම ඇහුවේ උඹ බෝඩිමේද..? කියලාය.  එහෙම ඇසීමට හේතුව මගේ බෝඩිම කැම්පස් එකට පයින් යන දුරින් තියෙන නිසාය. අපේ එවුන් ටිකක්, නිවාඩු කාලෙත් රෙදි අපුල්ලන්න කැම්පස් පූල් එකට ගිහින්  උන් එකෙක් ගේ ස්විමිං ට්‍රන්ක් එක පූල් එක් දාලා ඇවිත්ය. ඌට ඒක මතක් වෙලා තියෙන්නේ ගෙදර ගියාට පස්සේය. ඊට පස්සේ  මට කතාකරන්නේ ඒක ගන්න යන්න කියලාය.  ඊට කලිනුත් අපේ එවුන්ගේ ස්විමිං ට්‍රන්ක් අමතක වී තිබුනේය. ඒත් හොඳ වෙලාවට උන්ට ගෙදර යන්නට කලින් ඒක මතක්වී තිබුණේය.
            දවසක් මගේ රූමා වන පම්මා, මහ රෑ උගේ වාෂ්ප ඇන්ජිම ඉස්ටාර්ට් කොරගෙනය.   බලනකොට ඌට ස්විමිං පූල් එකේ වතුර පෙවිලාය.  මම නම් ඌට කිව්වේ පහුවෙනිදාම කියුබාවට ගොස් බේතක් ඉල්ලාගෙන බොන්ට කියලාය. ඒත් පහුවදා ඌට ගානක් වත් නැත.  කිරිහලේ කල් ඉකුත් වූ කිරි බීපු මුට, තිසා වැවේ පල් වුණ වතුර පෙවුනු මුට ඕකත් දෙයක් දැයි මට පසුව සිතුනේය. කියන්නට අමතක වුණ දෙයක් තියේ. මට කෝල් කලේ බොරියා ය. ස්විමිං ට්‍රන්ක් එකේ අයිතිකරු පරන්නා ය. දාලා ඇවිත් තියෙන්නේ ටිරියා ය...

Monday, September 26, 2011

සිදරං සහ තවත් කතා...

ඔන්න දැන් සතියකට දෙක්කට ඉහත්තාවෙන් පාප්පුවා, මන්නයා, පම්මා, නරියා සහ පිනා එකතුවෙලා අපේ සීනියර් අයියලා කණ්ඩායමකුත් එක්ක තන්තිරිමලේ ගියා. මේ අපේ නිවාඩු කාලේ නොවැ, ඉතින් ඒ නිවාඩු කාලේ ඔහේ ගත නොකර තන්තිරිමලේ පැත්තේ ගුරුවරුන් හිඟ පොඩි පාසල් තුනක සාමාන්‍ය පෙලට මුහුණදෙන්න ඉන්න නංගිලා මල්ලිලාට ඒ විභාග කඩයිමෙන් එතෙර වෙන්න උදව්වක් කරලා එන්න තමයි එහෙ ගියේ.  ඔන්න ඒ ගමනේ ඇසූ දුටු කතා කීපයක් ගලපන්න තමා මේ ලෑස්තිය.
    උදේ පාන්දරින් කොලොම්පුරේ සිට වවුනියාව බලා ගමන්ගන්නා දුම්රිය තමා අනුරාධපුර තෙක් ගමන් කිරීමට අපි යොදාගැනීමට බලාපොරොත්තු උනේ.  ඊට කුරුණෑගලින් ගොඩවීමට පිනා,  පම්මා සහ මන්නයා සැලසුම් කර තිබුනේ. එහෙත් අනපේක්ෂිත අන්දමින් පෙර දින ඇතිවූ දුම්රිය අනතුරක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමනය අඩාල වීම නිසා පැය කීපයක් දුම්රියස්ථානයේ ප්‍රමාද වීමෙන් පසුව අනුරාධපුරය තෙක් ගමන්කිරීමට බස් රථ වලට ගොඩවීමට  අපට සිදුවුණා. මන්නයා, පිනා, පම්මා  කුරුණෑගල සිට ඇල්ල හරහා අනුරාධපුරයට පැමිණ පැයක් පමණ ගතවු පසු අනික් කණ්ඩායම  හලාවත හරහා පැමිණියා.
                        අනික් අය එනතෙක් පැයක් පමණ කාලයකුත් ඉන්පසු ඔවුන් සමග විවිධ අවශ්‍යතා සඳහා දැඩි අව් රශ්මිය මධ්‍යයේ නගරයේ ඒ මේ අත ඇවිද ඇතිවූ දැඩි පිපාසාවෙන් අපේ දිව ගිලෙන්න ඇවිත් තිබුණේ. ඔහොම පාරේ ටික දුරක් ඇවිද යනවිට දොඩම් ගෙඩි ගොඩක් වටකර ගෙන දොඩම් බීම විකුණන නැන්ද කෙනෙක් පම්මාගෙ  ඔටු ඇස්දෙක දැකලා...... පම්මා එකපාරටම "අන්න සිදරං...... අන්න සිදරං........" කියලා අනික් එවුනුත් ඇදගෙන එතනට  ගියා.  ඊට පස්සේ ඉතින් අපි ජිවිතේ පලවෙනි වතාවට දොඩම් දැක්කෙ අද කියල හිතාගෙන  මෙලෝ රහක් නැතිව කියවනවා...
    "ආ....., මෙන්න තියෙනවා සිදරං....."
    "වතුර තිබහට කියාපු දේ...."
    "මේ ගෙඩිය නම් කූඩලු.."
    "නැන්දේ කීයද සිදරං වීදුරුවක්.....?"
    "අයිස් කැට දාලාද දෙන්නේ....?"
මූ එතන දෙන වදන් වල හැටියට අහලින් පහලින් ගියපු එකෙක් හිතන්න ඇත්තෙ මුට දොඩම් පිලිබඳ උපාධියක් ඇති කියලා. මූ කියවලා නතර කරනකන් ඉඳලා ඒ නැන්දා මෙහෙම කියපි...

    "ලමයො මේව සිදරං නෙවෙයි.... ඔය ලමයා සිදරං දැකලා නැතිව ඇති..."

ඒ පාර පම්මාට වස නෝන්ඩිය. ඒ පාර ඌ මෙහෙම කියනවා

    "ඒක  වෙන්න බෑ... මේව සිදරං ම තමා..... කෝ බලමුකො රේණු ගැලවෙනකොට මට කියන්න පුලුවන්....."

පම්මා ඉතින් මේ දිව ගිලෙන්න එන වෙලාවේ  සිදරං හරි ලදරං හරි  දෙන ඕන මගුලක් බීලා තිබහ නිවාගන්නේ නැතිව  ඒවගෙ උප්පැන්නෙ බල බල ඉන්නව.  ඔන්න නැන්දා බීම හදන්න පටන්ගත්තා, දොඩම් ගෙඩියක්  දෙකට කපලා වීදුරුවකට ටිකක් මිරිකුවා. ඔහොම වීදුරු තුන හතරක අඩියට පොඩ්ඩක් දොඩම් දාලා කොහෙදෝ තිබිලා ගත්ත බාල්දියකින් වීදුරු පිරෙන්න සරුවත් දාගෙන ගියා. මදැයි දොඩම් බොන්න ගියා.., අම්මප අපේ එවුන්ට දිව ගිලිලා තිබුනෙ නැතිනම් අර සරුවත් බීම ටික හලයි පම්මගේ ඔලුවේ....
        ඔය කතන්දර මැද්දෙන් අපි තන්තිරිමලේට යන බස් නැවතුමට ගියා. එහාට බස් යන්නේ පැයකට සැරයක් තිබුන බස්‍ රථයෙ අපිට යන්න තරම් ඉඩ තිබුනෙ නැති නිසා ඊ ළඟ එක එනකන් ඉන්න උනා. කොහොම කොහොම හරි හවස් ජාමෙ වෙනකොට අපිට  නවාතැන් ලැබුණ විශ්‍රාම ශාලාවට අපි ආවා.  ගිමන් නිවාගෙන ඉවරවෙලා කස්ටියම එකතුවෙලා රාත්‍රී ආහාරය ලෑස්ති කරන්න සෙට්වුනා.  එලවළු හෝදන්න, කපන්න, බත් උයන්න, පොල් ගාන්න හාල්මැස්සන් සුද්ද කරන්න. කස්ටිය හෝ ගාලා වැඩ. පම්මා හාල්මැස්සන්  සුද්ද කරන්න අරගෙන ඒක හත් අට වතාවක් හෝදලා අන්තිමට හාල්මැස්සන් පන්සීයෙන් දෙසියපනහක්ම වතුරේ හෝදලා ඉතිරි උනේ දෙසියපනහක්.  පිනා පොල්ගාන්න ගත්තාට පස්සේ පාප්පුවා ඇවිත් පොල්ගෑම පිලිබද විශාරද ටෝක්ස් දීලා පොල්ගෑමේ කර්තව්‍ය භාරගත්තා. ටිකවෙලාවක් ඌ හිරමනය උඩ අර පොඩිකාලේ පදින ලී අස්සයෙක් පැදලා බැරිම තැන යන්න ගියා (සුදු නංගි දන්නවනම් මුට පොල් ගාන්න බෑ කියලා,    නංගි ගහයි බැට්එකෙන්). ඒ පාර මන්නයා පොල් ගෑමේ අනුප්‍රාප්තිකයා වශයෙන් හිරමනේ උඩ ඉඳගත්තා. හැබැයි ඌට පුළුවන් පොල් බෑවෙ වටේට ගාන්න විතරයි. ඌ වටේ ගාලා දෙන ඒවගෙ මැද තව එකෙක් ගාන්න ඕනා.
        ඔන්න ඉතින් අපි පහුවෙනිදා ඉඳන්  පාසලේ ඉගැන්වීම් කටයුතු සාර්ථකව  කරගෙන ගියා. පාසල ඉවරඋනාම හවස්ජාමෙ අපි ඇවිදින්න යනවා තන්තිරිමලේ රජමහා විහාරේ තියෙනවා අති විශාල ගල් තලාවක් (සඳහන් වෙලා තිබුණ විදියට නම් අක්කර 250 ක් පුරාවට පැතිරුන එකක්ලු). ඒ පැත්තට මාස හයකින් විතර හරියකට වැහැලා තිබුණේ නෑ ආරංචියෙ හැටියට. ඉතින් ජල පහසුකම් එහෙමත් සීමිතව පරිභෝජනය කලේ. ඒ මදිවට එහෙ වතුර  සෑහෙන කිවුලයි. අර උසස් පෙලට තිබුණ කාර්මික රසායනයේදි ජලයේ කඨිනත්වය කියන්නෙත් ඕකටම තමා. ඒ පැත්තේ අයට නම් ඒ වතුර බොන එක පුරුදුවෙලා තිබුනට අපිට ඒ වතුර බොන්න හරි අමාරුවුණා. කොච්චර කිවුලද කියලා  පම්මාගෙ  පරීක්සන වලට අනුව කියනවා නම්, වතුර ටික කටට හලාගත් පමණින්ම ශරීර උෂ්ණත්වය හේතුකොටගෙන මුඛය තුලම බයිකාබනේට ටික කාබනේට වශයෙන් අවක්ෂේප වෙනවලු. ඒත් මොනව කරන්නද ඒ වතුර කොහොම හරි බොන්නවුණා. හැබැයි උයන්න පොල් බිඳින වෙලාවට නම් කස්ටිය පෝලිමට පොල් බිඳින එකා පස්සෙන් කෝප්ප අරන් ඇවිත් පොල් වතුර ටිකක් ඉල්ලාගෙන බොනවා.
                දෙවෙනි දවසෙ එලිවෙන ජාමෙ තමා කඨින ජලය පානය කිරීමේ ආනිසංස වශයෙන් අපේ පම්මාට සහ අපේ සීනියර් අයියලා කීපදෙනෙක්ටම බඩු පැකට් වෙලා තියෙන්නේ.  එලිවෙන ජාමෙට පැයක් තියෙද්දි ඔය කියපු කස්ටියට මුත්‍රා අඩස්සිය හැදිලා. ඉන් පස්සේ රෝගීන් ටික  එකතුවෙලා සීනී කිලෝවකටත් වගකියලා නින්ද යන්නේ නැති නිසා අර කලින් කියපු ගලේ ඇවිදින්න ගිහින්.  ඔහොම යනකොට උදේ පාන්දරම දඩාර් සයිස් එකේ පොළොන් තඩියෙක් මූණ ගැහුනාලු. පම්මට නම් මුත්‍රා අඩස්සිය හොඳ වෙලා තියෙන්නේ ඒ වෙලාවෙලු.
                    එදා හවස අපි නවාතැනට එනකොට කලින් දවසෙ හෝදලා දාලා ගියපු අපේ ඇදුම් කීපයක් නැතිවෙලා.  ඇදුම් නැතිඋන අනික් අය තමන්ගෙ ඇදුම් හොයහොයා හිටියට පම්මා උගෙ නැතිඋන කලිසම ගැන පොඩ්ඩක්වත් දුක්වෙන්නේ වත් හොයන්නේ වත් නෑ. රහස මොකක්ද කියල  පම්මට කිට්ටු කරල අහපුවම  ඌ කිව්වේ මෙහෙම කතාවක්.

            "මචං මම ඇරෙන්න ඔය කලිසම  අඳින එකා ඕක ඇඳලා වැඩිකල් ජීවත් වෙන්නෙ නෑ...."

අපිට රෑට නිදාගන්න  සර්පිල දුනු සවිකරපු මෙට්ට ගොඩක් හම්බවුනා. දුවගෙන ඇවිත් මෙට්ටෙට පැන්නාම තුන් හතර වතාවක්ම හොදට බම්ප් වෙනවා. ඒව අපිට ඉතින් ලොවෙත් ආතල්. ඔය අතරෙ නරියා සාම්ප්‍රදායිකව "ද"යනු ස්වරූපයෙන් නිදාගැනීමේ පුරුද්ද නැතිකිරීමට  අපි ගත්ත සියලු  උත්සහයන් අසාර්ථක උනා. කොච්චර දිගෑරලා තිබ්බත් ටිකවෙලාවකින් නරියා අයෙත් "ද"යන්න වගේ නිදි.  ඒ අතරේ පාප්පුවා උගෙ කලින් තිබුණ තුනී ලෑලි ලී මෝල විකුණලා ලොකු ලී මෝලක් ඇරගෙන රෑට කොට ලෝඩ් ගනන් ලී ඉරනවා හෝ ගාලා.
        ඔන්න ඉතින් දවස් තුනක් පවත්වපු අපේ ඉගැන්වීමේ වැඩමුළුව අවසන් වෙලා එදින සවසම අපි ආපහු එන්න පිටත්වුණා. අනුරාධපුරයට ඇවිත් තිසා වැව ලඟින් බැස්සා. තිසා වැව ලඟින් බැස්සේ ඉතින් බලන් ඉන්ට නෙමයි හොඳට නාන්ට. වැස්ස නැති නිසා තිසා වැවෙත් වතුර ඒ හැටි තිබුනේ නෑ. තිසා වැවේ මැද හරියටම කිට්ටු වෙන්න ගියත් ඉන වටක් විතර තමා වතුර තිබුනේ. ඔන්න ඕකේ අපේ කස්ටිය දඟල දඟල ඉන්නකොට පිනාට පුරා වස්තුවක් හම්බවුනා නෙව වැවේ තිබිලා.  ඒක වැඩි දුර පරීක්සන කටයුතු සඳහා පම්මාවෙත අපි යොමු කල අතර එහිදී පුරාණ ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ පැවති දියුණුව පිලිබඳ ඉතා ප්‍රබල සාක්ෂි රැසක් අපට අනාවරණය කරගැනීමට හැකිවුණා. සියලු පරීක්ෂණ අවසන් වූ පසු අනාගත පරපුර උදෙසා අපි එම පුරා වස්තුව තිසාවැව පත්ලෙහිම තැම්පත් කොට සංරක්ෂණය කලා. අපි කොලොම්පුරට එන්න තීරණය කරලා තිබුනේ වවුනියාවේ සිට කොලොම්පුර බලා යන රාත්‍රී තැපැල් දුම්රියෙන්. ඒක අනුරාධපුරයට එන්නෙ රෑ 11.30 ට. අපි තිසා වැවෙන් ගොඩ එනකොට හවස 6.30ට විතර. වෙන කරන්න දෙයකුත් නැති නිසා අපි ගියා පූජනීය නගරය වන්දනාමාන කරන්න. පලමුවෙන් මිරිසවැටියටත් ඉන් පසු රුවන්වැලි මහ සෑයත්, ශ්‍රී මහා බෝධියත් වන්දනා කරන්න ගියා.
            ඔන්න ඉතින් අපේ අය මිරිසවැටිය, රුවන්වැලිසෑය ගැන එහෙම තමන් දන්න කියන ඉතිහාස කතා අනික් අයට කියලා දෙනවා. පම්මත් ඉතින් දන්න මගුලකුත් නෑ නොදන්න මගුලකුත් නෑ නේ. ඕන් ඉතින් මූ ඒකාලේ හිටපු එකෙක් වගේ ඉතිහාස කතා කියලා දෙනවා. අනේ ඉතින් පිනාත් මූ පස්සෙන් වැටිලා ඒ කතා අහ අහ ඉන්නවා. ඔහොම කතා කියකිය ඇවිත් අර රුවන්වැලි මහ සෑරදුන් ඉස්සරහම මූ ඇදබෑවනෙ පට්ටම පට්ට රජ කෙප්පයක්. ඒ කතාව මෙන්න මෙහෙමයි.
        පම්මත් එක්ක පිනා රුවන්වැලි සෑරදුන් පැදකුණු කර කර ඉන්න වෙලාවේ පම්මට එකපාරටම දෙයක් මතක් වෙලා පිනාගෙන් මෙහෙම ඇහුවා.

       පම්මා : "මේ උඹ දන්නවානේද දුටුගැමුණු රජතුමාගෙ මඟුල් ඇතා.....?"
       පිනා : "මඟුල් ඇතා...!! ආ... ඔව්.."
       පම්මා : "අන්න ඒ මඟුල් ඇතාගෙ දළයක් රුවන්වැලි සෑයේ පැත්තකින් මතුවෙලානේ..... පේන්න තියෙනවා"
       පිනා : "ආ.. ඇත්තද... කොතනද තියෙන්නේ...?"
       පම්මා : "වටෙන් යමුකො මම පෙන්නන්නම්..."

එහෙම කියලා ටික දුරක් ගියපු පම්මා රුවන්වැලිසෑයෙ පාමුල එක තැනක නතර වෙලා ඉඳගෙන සලපතල මළුවෙන් උඩට ඉපිලුන රවුම් හැඩැති සුදුපාට යමක් පිනාට පෙන්නුවා. බැලූ බැල්මට ඒක ඇත් දලයක අග කොටස පොලව තුලින් ඉහලට මතුවෙලා තියෙනව වගේ පේන්නෙ.  අනේ ඉතින් පිනා ඒ ප්‍රෞඩ මඟුල් ඇතුගේ දළය දෙස ප්‍රීතියෙන් යුතුව බලා ඉන්න අතරතුරේ පම්මා ඒකෙ ඡායාරූප කීපයකුත් ගත්තා.  ඉන් පස්සෙ දෙන්නාම   සලපතල මළුවේ  කෙලවරක සිටි අනික් අය ගාවට ඇවිත් ඉඳගත්තා.  ඇවිත්  පම්මා අර ඇත් දළයක් කියපු එකේ ගහපු ඡායාරූප ටික පෙන්නනවා වැඩර් වගේ.  ඔන්න දැන් ඒක අනික් අයටත් බලන්න ඕන වෙලා. කස්ටියම නැගිටලා ගිහින් බලනවා.  ටික වෙලාවකින් ගියපු අය හිනාවෙවී එනවා. බැලින්නම් පම්ම කියලා තියෙන්නේ පට්ටම පට්ට කෙප්පයක්. ඒක තියෙන්නේ වහින දවස් වලට සලපතල මළුවේ එකතුවෙන ජල මට්ටම මනින්නලු.
            ඔයවගේ කියවුන සහ තවත් නොකියවුන කතා ගොඩක් මැද්දෙන් අපි සහභාගිවුණ පලමු වැඩමුලුව ඉවර වෙලා අනුරාධපුර දුම්රියස්ථානයේ බිම එලාගත් සිලිමල්ලක් උඩ කාපුවාම කන් අඩිවලින් දුම් දාලා, ඇස් වලින් කඳුලු බේරුන සීනි සම්බෝලයක් එක්ක පාන් කාලා, රාත්‍රි තැපැල් දුම්රියෙන් අපි ගෙවල් දොරවල් කරා ආවා....   

Friday, September 23, 2011

එවුද කනවෝ....

ඕන්න මේ ලඟදී අපේ කස්ටිය එකතුපහදු වෙලා නමෝ විත්තියෙන්  අපේ බැච් ට්‍රිප් එක ගියා නෙව. සබරගමුවෙ සරසවිය ආසන්නයේ තියෙන ආදර කන්දේ තමා ගියේ. එහෙ ගිහින් අපි හැමෝම ලොවෙත් ආතල් ගොඩක් ගත්තා. ඔය ආතල් ගොඩෙන් පිනා අත්දැකපු සිදුවීමක් ගැන කියන්නයි යන්නේ. ඕන්න ට්‍රිප් එක යන්න කලින් දවසේ අපි ගත්ත සාකච්ඡාවට සහභාගිවුන අපේ සීනියර් අයියලාගේ මඟපෙන්වීම පරිදි බැච් ට්‍රිප් එක සඳහා සැනසුම්පතියන්  පත් කරගත්තානේ. ඒ තමා දම්බා සහ වවුලා, උන් දෙන්නාගේ සේවාව පිලිබඳව ඉතා හොඳ ප්‍රතිචාර ගෑනු ලමයින්ගෙන් නම් ලැබුණාලු. ඒත් අපේ කොල්ලන්ට නම් උන්දෙන්නාගෙන් සේවාවක් උනේ නැති තරම්.  මේ ඒ ගැන කතාවක්
 ඔන්න කන්ද නැගලා ආපහු එන ගමනේදී සැනසුමක් ලබාගැනීමේ ජාතික අවශ්‍යතාවයකින් තමා පම්මා ඉඳලා තියෙන්නේ.   මොනවා කරන්නත් කඳු පාමුල ෆයිනස් කැලේට එනකන් මොනවත් ගහක් කොලක් තිබුනේ නැති නිසා පම්මා බොහොම අමාරුවෙන් කන්ද බැහැලා ෆයිනස් කැලේට එනකන් ආවයි කියමුකො.  ඒත් පම්මාට සැනසීමේ අවස්ථාව ෆයිනස් කැලේදිත් උදාකරගන්න ලැබිලා නෑ.  ඊට පස්සේ හම්බවෙන දොලේ සීතල වතුරෙන් ඇගපත ටිකක් සෝදාගන්න පම්මාට සිත්වුන නිසා සැනසීමේ අවශ්‍යතාවය ටිකකට අමතකවෙලා.  දොලෙන් එගොඩට ආවාම හම්බවෙන්නේ ඝන කැලෑව, ඒ තුලින් වැටුණ පොඩි අඩි පාරක තමා යන්න තියෙන්නේ.  ඔන්න අයෙත් පම්මාට සැනසීමේ අවශ්‍යතාව ලිමිට් පැනලා.   ඒ වෙලාවෙ ලකන්නාට එහෙමත් සැනසුමක් ඕන වෙලා හිටියේ.  අපි ආපු කණ්ඩායමේ ගෑනු ලමයි ටිකත් එන නිසා උන්ට යන්න  ඇරලා පම්මා සහ අනිත් එවුන් හෙමිහිට කැලෑව පැත්තට රිංගුවා. හැබැයි පාරේ පිනාව තියලා ගියේ ගෑනු ලමයි කවුරුවත් එනවා නම් උන්ට නොතේරෙන්න සංඥාවක්  දෙන්න කියලා.  ඔහොම ඉන්නකොට ඈතින් ගෑනු ලමයි ටිකක්  එනවා පිනා දැක්කා. හරි වැඩේ... දැන් කොහොමද අරුන්ට මේ ගැන කියන්නේ. පිනා එක පාරටම "එවුද කනවෝ..... එවුද කනවෝ......" කියලා කෑගහන්න ගත්තා. ඒ පාර  කැලේ ඉදලා අරුන් ටික පිනාට බනිනවා.
        "මොකද යකෝ කෑ ගහන්නේ...... පොඩ්ඩක් කෑගහන්නේ නැතිව හිටපන් කෝ"
        උන්ට තේරිලා නෑ කියපු දේ. පිනා අයෙත් කෑගැහුවා "එවුද කනවෝ.... එවුද කනවෝ....." කියලා. ආන්න ඒ පාර උන්ට කම්පයිල් වෙලා පිනා කියපු දේ. කස්ටිය දඩබඩ ගාලා සැනසිලා කැලෙන් පාරට පැන්නා.  අනික් එවුන්ට නම් වැඩේ අවුලක් නෑ. හැබැයි පම්මාට අවුල්  මොකද මිනිහා සැනසිලා තියෙන්නේ බාගෙට. පවු නේද...?  කවුද මේවට වගකියන්නේ....? වෙන කවුද ඉතින් සැනසුම්පති දම්බා සහ සැනසුම්පති  වවුලා තමා.      

Saturday, September 17, 2011

කරාටේ ලමයා හෙවත් කරාටේ කැලේ..

ඔයාලා දන්නවානේ අපේ කැලේ සහෝදරයා ගැන. මිනිහාට ඉතින් කාලෙන් කාලෙට විවිධාකාර, විෂමාකාර මොංගල් තත්වයන් ඇතිවෙනවා කියලා.  ඔය හිටපු ගමන් ලොවෙත් මම නම් අහලා නැති ඉංගිරිසි සින්දු වල කෑලි කියනවා එහෙමත් මම දැකලා තියෙනවා. මනුස්සයාට ඔයවගේ ලෙඩ ගොඩයි. මම මේ කියන්න යන්නෙත් උන්නැහේට වැළඳිලා තිබුන දරුණු මන්ද මොංගල් තත්වයක් ලොවෙත් චාටර්  අකරතැබ්බයකින් අවසන් වුණ හැටි.
              මීට මාසෙකට දෙකකට කලින් කැලේට අමුතු ලෙඩක් හැදිලා තිබුණා, අපේ එකෙක් හරි ඌ ලඟ හිටියොත් අතපය විසිකරලා ගහන්න යනවා. මොකද දන්නවද කැලේ කරාටේ  ඉගෙනගන්න යනවලු සඳුදා හවස ජිම් එකට.  එදාට කැලේ අපේ බවන පැත්තට එන්නේ කෙඳිරිගාගෙන, ඇඟ රිදෙනවාලු කරාටේ ගහලා. පස්සේ තමා අපි දන්නේ, කැලේ ව කරාටේ ටීම් එකට අරන් තියෙන්නේ අර පුහුණුවෙන්න ගහන ඩමියට තියන්න කියලා. ඔය කාලෙදිම තමා අපිට අර ජයග්‍රාහී දෙවන වතාවටත් නවක ක්‍රීඩා තරඟ තිබුනේ. ඔන්න ඒකට වෙන පැකල්ටියකින් ආපු ගෑණු ලමයෙක් ගැන කැලේට මෙව්වා එකක් ඇතිවෙලා. චී...., ඔය ගැන ඇහුවාම කැලේ ලොවෙත් කපපු කිරිපණුවෙක් වගේ ඇඹරෙනවා. හ්ම්... ඔහොම ටික දවසක් ගියා. ඔය අපේ පඩියා ඉන්නේ ආන්න උන්නැහේගෙ බුදු පිට් එකක් ලු ඒ ගෑනු ලමයා. දවසක්  කැලේ, මකුවත් එක්ක කොහෙදෝ ගිහින් එද්දි පඩියයි ඒ ගෑනු ලමයයි පොඩියට ටෝක්ස් එකක් දාගෙන සාත්තර පීඨෙ පැත්තේ ඉඳලා යනවා දැකලා. වෙලාවෙ හැටියට කලාව පෙන්නලා කෙල්ලගෙන් ලකුණක් දෙකක් දාගන්න හිතපු කැලේ මකුවත් ඇදගෙන අඩියට දෙකට ඒ දිහාවට කිට්ටු කොලා. ලඟට ගිහින් ගෑනු ලමයට ඇහෙන්නත් එක්ක හෝ ගාලා වදන් දෙනවලු මකුවට. ඔහොම ටික දුරක් යනකොට මකුවට දැනුනාලු  තමන්ගේ ඇඟේ යාන්තමට මොකක් හරි වැදෙනවා, ඒත් එක්කම කවුරු හරි ඇදගෙන වැටෙන සද්දයකුත් ඇහිලා.  මොකක්ද කියලා මකුවා හැරිලා බලනකොට මෙන්න බොලේ කැලේ හතර ගාතෙන් බිම ලු. ඒ සද්දෙට අර ගෑනු ලමයත් හැරිලා පුදුමෙන් වගේ බලන් ඉන්නවාලු. ඒක දැකපු කැලේට ලැජ්ජා කෝටියයි. වෙන මොනවත් හිතන්න කලින්ම කැලේ නැගිටපු ගමන් මකුවත් දාලා දුවලා.. එදායින් පසුව කැලේ ඒ ගෑනු ලමයා ඉන්න පැත්ත පලාතක හිටියෙත් නෑ ලු. ආයෙ කරාටේ ගහන්න ගියෙත් නෑ ලු.  
         පසුව දැනගන්න ලැබුණ විදියට මෙහෙම දෙයක් තමා එදා කැලේට වෙලා තියෙන්නේ. කැලේට ඕනවෙලා තියෙනවා අර ගෑනුලමයා ඉස්සරහ එයා අළුතින්ම ඉගෙනගත්ත කරාටේ පාරක් ආදර්ශණය කරලා පෙන්නන්න. ඒ පහර එල්ල කිරීමට යොදාගෙන තියෙන්නේ මකුවා. එහෙම හිතලා රියනක් විතර උසට ගුවනේ පාවෙලා ගිහින් මකුවාට පහර එල්ලකරන්න හදනකොටම කලිසම පැටලිලා ඇදගෙන වැටිලා.. මේ ගැන කිව්වට මොකද කැලේ ගෙන් මේ ගැන අහන්න එපා පවු මිනිහට ලැජ්ජා හිතෙයි..
 

Sunday, July 24, 2011

යුන්නෙක්ගෙ ගෙදර සිව්දිනක්..... - III කොටස

ඔන්න පහුවෙනිදා උදෙන්ම පාප්පුවයි පින්සරයි ගියා පාරාදීසෙ පැත්තෙ රවුමක් දාලා එන්න කියලා. එදා ඉතින් හවස් වෙනකන් පිස්සුව තමා. හවස නැවතත් ජුන් අඩවියේ ක්‍රියාකාරකම් පිළිබඳ සමාලෝචනය සඳහා පාප්පුවා පාලන මැදිරියට ලොග් උනා.. පින්සරත් පාලන මැදිරිය අසලට පුටුවක් අරන් ගිහින් ඇසිස්ටන්ට්  පාලනමැදිරි තනතුර භාරගත්තා ඕං.... ඔහොම ඉන්නකොට පින්සරට ටිකක් කම්මැලි වගේ... පෝන් කෑල්ල අතට අරන් මූණු පොතේ කාවහරි ඔන්ලයින් ක්‍රමේට බයිට් කරන්න කියලා හිතාගෙන  කයිවාරුවට ලොග් වෙලා බැලුවා කවුද ඉන්නේ කියලා.. බලනකොට ඕං ඉන්නවා ඉඩෝරි.. පින්සරගෙ ෆේවරිට් බයිට් එකක්... =D ඕං ඉතින් නමෝ විත්තියෙන්  මෙහෙමයි ඒ බයිට් එක සිද්ධ උනේ..

පිනා: "ඒයි ඉඩෝරි උඹ මොකද කරන්නේ? අපි මේ "ජුන්නෝ" බලනවා..."
ඉඩෝරි: " මොකක්ද? ෆිල්ම් එකක්ද? " (කස්ටියට හිතාගන්න පුලුවන්නේ ඉඩෝරිගේ මොලේ තරම ගැන,  පිනාත්  ඉතින් අහුඋන පොට දිගටම ඇදගෙන ගියා..)
පිනා: " ඔව්, උඹටත් දෙන්නද? "
ඉඩෝරි: " අපෝ මට එපා උඹ බලන ෆිල්ම් "
පිනා: " නෑ බන් මේක පට්ටයි..."

ඔන්න ඔහොම දිගටම බයිට් එක ඇදගෙන ගියා.. ඊට පස්සේ පින්සර පාප්පුවටත් ඔයගැන කිව්වා.. ඊට පස්සේ අපි පොඩ්ඩක් සර්ච් පාරක් දාලා බැලුවා සිරාවට එහෙම ෆිල්ම් එකක් තියනවද කියලා යකෝ සිරාවට එහෙම ෆිල්ම් එකක් තියෙනවා. ඒකත් ජයසිරි මංගලම් කියලා ඉඩෝරිට ඒකෙ ලිනක් දෙකතුනක් යවලා බයිට් එක අප්කරලා ගත්තා. ඒ පාර ඉඩෝරි හොඳටම ඇඳගෙන. කොච්චර ඇඳගනද කිව්වොත් දැන් ඉඩෝරි විසිවෙනිදා "නැට්" එකේ "ජුන්නෝ" ෆිල්ම් එක බලන්නත් ලෑස්තියි ඕං....
                              ඔය වෙලාවෙ එකපාරටම "ඩෝං.." ගාලා සද්දයක් ඇහුනා පාප්පුවාගෙ ගෙදර වහලෙන්.. "මොකක්ද බන් ඒ...?" පින්සර ඇහුවා.. ඒකට ලැබුන පිලිතුර මීට මාස ගානකට ඉස්සර කැලේ පාප්පුලාගෙ ගෙදර හිටපු දවසක ඔය සිද්දියම වෙලා කැලයාට ලැබුන පිලිතුරම තමා... "ඔය වහලෙට වෙරළු ගෙඩියක් වැටුනා බන්.." ඒත් යකෝ හැමදාම ගස්වල වෙරළු තියෙනවද? අනික ඇහුන සද්දෙ හැටියට වෙරළු ගෙඩියෙ සයිස්එක ගඩොල් බාගයක් විතර එකක් වෙන්න ඕනා. පින්සරට එහෙම හිතුනත් මොනවත් පාප්පුවාගන් ඇහුවේ නෑ ඒ ගැන.. පාප්පුවා පව්නේ... සීන් එක මොකක්ද කියලා නිගමනයකිරීම පාඨකයින්ට බාරයි.....

 

Wednesday, July 20, 2011

යුන්නෙක්ගෙ ගෙදර සිව්දිනක්..... - II කොටස

"චූට් පුතා...., චූටි පුතා......, නැගිටින්න තේ බොන්න" උදේ  කවුද කතා කරනවා නිදිමතේම  පින්සර ලමයාට ඇහුනා.  රෑට බයවෙන නිසා තනියට කොට්ටෙ යටින් තියාගන්න පෝන් කෑල්ල අතපතගාලා හොයාගත්ත පින්සර ලමයා වෙලාව බැලුවා  හෆොයි වෙලාව හත හමාරත් පහුවෙලා ඒත් පුදුමයි වෙනදා හය පහුවෙනකන් නිඳාගෙන හිට්යාම පින්සර ලමයාගේ අම්මා ගෙනත් දෙන වේවැල් කසාය අද නැත්තෙ ඇයි කියලා කල්පනා වෙනකොටම නිකන් ලී මෝලක සද්දයක් වගේ ලඟින්ම ඇහුනා. ටිකක් හැරිලා බලපුවාම පාප්පුවා අම්බානක ගොරවනවා, එතකොට තමා පින්සරට මතක්වුනේ තමන් පාප්පුවාගෙ ගෙදර ඉන්න බව. ඔන්න කොහොමහරි උන්නැහේව අට හමාර විතර වෙනකොට  අම්මා පාප්පුව නැගිට්ටවාගත්තා.  එදා දෙන්නට වෙන කරන්න දෙයක් තිබුනේ නැති නිසා කලින් දවසේ දාපු සූටිං පාරවල් බලන්න පටන්ගත්තා. හෆොයි....!! එතකොට තමා දැක්කේ ආලෝකකරණය කරපු මකුවා කස්ටියට හොල්මං පෙන්නලා කියලා. සූටිං පාරවල් වල මකුවා එල්ලකරන ආලෝකධාරා එහාට මෙහාට නලියනවා හරියට හොල්මං වගේ. එහෙම උනේ කොහොමද දන්නවද, මිනිහා අර වයිට් බෝඩ් ලෑල්ලක් උස්සගෙන ඉන්න චාටර් ආකාරය අපේ අනිත් එවුන් ඡායාරූපයට නඟයි කියලා බයට මිනිහා වටපිට කැරකි කැරකි බලනකොට තමා ඔහොම වෙලා තියෙන්නේ.
            හවස්ජාමෙ පාප්පුවා පින්සර ලමයත් ඇදගෙන ක්‍රිකට් ගහන්න කියලා ගියා පාරකට. මොකද ඒ පැත්තේ ක්‍රිකට් ගහන්නේ පාරවල්වල නේ.  ඔන්න ටිකවෙලාවක් යනකොට පින්සර ලමයාටත් බැටිං පාරක් දෙන්න අවස්ථාවක් ලැබුණා. හැබැයි මෙතන හිතුන හිතුන අතට ගහන්න බෑ. ඒක නිසා පාප්පුවා ඇවිත් පින්සර ලමයාට පොඩි කුප්පියක් දැම්මා. ඒක මෙහෙමයි "මචං වමේ තියෙන තාප්පෙට උඩින් ගහන්න බෑ ඒක අවුට්, ඊට එහා පැත්තේ තියෙන තාප්පෙට උඩින් ගහන්නත් බෑ ඒකත් අවුට්. ඊටත්  එහාපැත්තේ තියෙන තාප්පෙත් එහෙමයි.  උඹට ඕනනම් දකුණු පැත්තට ගහන්න පුලුවන් හැබැයි එක ලකුණක්වත් දෙන්නේ නෑ....." ඔන්න ඔය වගේ අවුට් වෙන කතා, ලකුණු දෙන්නේ නැතිකතා ගොඩක් කියාගෙන ගියා.  ඒත් ලකුණු ගන්න  දිහාවක් ගැන නම් ඌ කිව්වේ නෑ. අන්තිමට පින්සර ලමයා ඇහුවා "හරි දැන් කොහෙට ගැහුවොත් ද ලකුණු දෙන්නේ?" ඒ පාර පාප්පුවා පාරේ තියන ලයිට් කණුවක් පෙන්නලා කියනවා "උඹ කෙලින්ම අර ලයිට් කණුවට එහා ගැහුවොත් ලකුණු හයයි" ඕං එච්චරයි ලකුණු ගන්න ක්‍රම තිබුනේ. 
            ක්‍රිකට් ගැහිල්ලත් ඉවර වෙලා ඇවිත් ඉන්නකොට ඕං උණු උණු ආරංච්යක් කඩාපාත් උනා පාප්පුවාට. " ඕං..... ජුන්නෝ එනවෝ......!! " කියලා තමා ආරංචිය. තව ටිකකින් දිගට හරහට ආරංචි ගලා එන්න උනා. අපේ ජුන්නෝ මූණු පොතේ අඩවියක් පිහිටුවලා ලු...!! අපේ දිගු දුර විහිදුම් බලකායේ එවුන් දෙතුන් දෙනෙකුත් ඒකට රිංගලා ලු.... උන් ටික ජුන් අඩවියේ ව්විධාකාර ක්‍රියාදාමයන් පිලිබඳව ස්ක්‍රීන් සොට් සංඤා ක්‍රමය මගින් පාලන මැදිරි දැනුවත් කරනවා හෝ ගාලා.   ජුන්නෝ දෙන ඇඩ් ගොඩායි...  ඒවා දැකපු අපේ කැලයා ඉංගිරිසි බයිස්කෝප් වලින් ඇහිඳගත්ත  කඩු වචන වලින් හෝ ගාලා වෙන්ඩ ජුන්නන්ට බනිනවා. පින්සර ලමයාත්  වෙන්ඩ ජුන්නා කාලේ දුන්න ඇඩ්එකක් නිසා  ඒ කාලේ හම්බ වෙච්ච ආතල් පින්සර ලමයාට මතක් උනා..... පව් නේද වෙන්ඩ ජුන්නෝ.......   ඕං පින්සර ලමයා, පාප්පු යුන්නාගෙ ගෙදර ගතකරපු  දෙවැනි දවස ඔහොමයි...

Tuesday, July 19, 2011

යුන්නෙක්ගෙ ගෙදර සිව්දිනක්..... - I කොටස

ආයිබොවන්...., බලන්ඩකෝ පාරාදීසේ පැත්තේ ලොවෙත් පිස්සු කෙලිමින් හිටපු පින්සර ලමයාව විභාගෙ ලඟයි කියලා බය කරලා ගෙදර එව්වනෙ මීට සති දෙක තුනකට ඉස්සර. අනේ ඉතින් ගෙදර ඇවිත් ලෙසටම ගිරවා පාරක් දාගෙන ඉන්නකොට පොඩි කම්මැලි කමකටත් එක්කම  මූණු පොතේ 'අපේ කයියට' හොට දාලා බැලුවා මොකද වෙන්නේ කියලා. අපොයි...!! මෙන්න අපේ පුළුන්  සහෝදරයා  නහයෙන් අඬ අඬ මෙහෙම කියලා තියෙන්නේ... "යේක මට  ආරංච්, අපිලගේ එග්ෂෑම්ස් කල් දමලා කීලා...."  අනේ දුක්වෙන්නද, සතුටුවෙන්නද කියලා පින්සර ලමයාට හිතාගන්න බැරිඋණා. හ්ම්...., ඔක්කොම හොඳටයි කියලා පින්සර ලමයා දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන හිටියා. ඕං ඔහොම ඉන්නකොට අර අපේ යුන්නෙක් ඉන්නේ පාප්පු කියලා....., අන්න ඌට තියෙනවානෙ ඔය කෙටි බයිස්කෝප් හැදීමේ පිස්සුවක්. මිනිහට පිස්සුව පොඩ්ඩක් තදවෙලා.... බයිස්කෝප් එකක් ගහන්න යනවැයි කියලා පොඩි සප් එකක් දෙන්න පුලුවන්ද කියලා පින්සර ලමයාගෙන් ඇහුවා.  ඕන එකක් සත දහයයි කියන පින්සර ලමයාට ඕක අහන්නත් දෙයක්ද.  ඔන්න සප් එක බොක්කෙන්ම දෙන්න, ගෙදර දොරේ තිබුන වැඩ ටිකකුත් එහෙට මෙහෙට කරලා පින්සර ලමයා කොලොම්පුරට එන්න තීරණය කලා.... ආන්න ඒ ආපු ගමන පින්සර ලමයා ගෙදර පැත්තේ ආපහු ගියේ දවස් හතරකට පස්සේ ඕං...., ඔය ගමනේ විවිධාකාර  ආතල් තමා පින්සර ලමයාට ලැබුනේ.  ඒ ගැන  තමා ඕං කියන්න යන්නේ..... කතාව ටිකක් දිගයි තමා...  කොටස් වශයෙන්වත් කියලා දාන්නම් හොඳේ.....

පලමු දින.....
මාස ගානක්  විශාරද කුම්භකලා දෙන්නෙක්  එක්ක බෝඩිමක වසපු පින්සර ලමයාත්  දැන් ටිකක් උදෙන්ම නැගිටින්න කම්මැලියි වගේ.. කොහොමහරි නැගිටලා ඉස්ටේසමට ආවත් කොලොම්පුරට යන කෝච්චිය ගිහින්. දැන් ඉතින් බස් එකක තමා කොලොම්පුරට පද්දන්න වෙන්නේ.  පැය දෙක තුනක් බස් පුටුවක් රත්කරපු පින්සර කොලොම්පුරට ආවා.  ඒ ආවා කියලා මදෑ තව බස් දෙකක යන්නත් එපැයි.  ටිකක් දවල් වෙලා, දැන්නම් පාප්පුවා කිරිබත් එහෙම කාලා වැඩට බැහැලත් ඇති පින්සරට හිතුනා.  කොහොම කොහොම හරි දවල් කෑමට පැයකට පෙර උගෙ බයිසිකෝප් එක සූටිං කරන තැනට පින්සර ලමයා සේන්දු උනා.
                    අප්පොච්ච්යේ පින්සර ලමයා යනකොට එතන බරටම සූටිං පාර යනවා.  ලව් සීන් එකක් තමා යන්නේ, නළුවා කුකා, නිලිය ගොරහැඩි, කැමරාකරනය පම්මා,  සහය කැමරාකරනය ටිරියා,  ආලෝකරනය මකුවා, අධ්‍යක්ෂණය පාප්පුවා. තව බස්සී, පඩියා එහෙමත් හිටියා ඕං..... පම්මා පොතේ හැටියට සියලු කැමරා ඈන්ගල් දාලා සූටිං පාර ලෙසටම දෙනවා, අවශ්‍යඋනාම අලුත් කැමරා ඈන්ගල් වලින් උනත් සූටිං පාර  දානවා.  මකුවා, පාප්පුවාගෙ ගෙදර තිබිලා හොයාගත්ත  වයිට්බෝඩ් එකක් අනික්පැත්ත හරවලා උස්සගෙන ආලෝකකරණය දෙනවා.  ටික වෙලාවක් ඉන්නකොට පින්සර ලමයාට ලොකු ගැටළුවක්, මොකද අධ්‍යක්ෂක පාප්පුවා කියලා කලින් හිතාගෙන හිටියත්  දැන් දැන්  ඌ නිෂ්පාදක ද කියලත් හිතෙනවා. මොකද පම්මා ඌට "ඇක්ෂන්", "කට්" කියන්නෙ දෙන්නෙත් නෑ. පම්මා ම  "ඇක්ෂන්" කියලා පම්මා ම "කට්"  කියනවා පාප්පුවා කට ඇරගෙන බලාගෙන ඉන්නවා. ඇයි යකෝ අධ්‍යක්ෂක නේ ඒක කියන්න ඕනේ.  ඔන්න එතන සූටිං පාර  ඉවර උනාම දවල්ට කන්න කියලා පාප්පුලාගෙ ගෙදර ගියා. මෙන්න බොලේ බොරියා පාප්පුලගෙ ගෙදර.... මිනිහා දවල් කෑමට සප් එකක් දෙන්න ඇවිත්.  දවල්ට කාලා අපි ඊලඟ සූටිං ස්පොට් එකට ගියා. ඒක පන්සලක  කුකා බෝධීන්නාන්සේට පැන් වක්කරන සීන් එකක්. පින්සර ලමයා තමා පැන් කලේට වතුර පුරවලා ගෙනත්දෙන්නේ. කොහොමහරි බෝ මළුවට ගංවතුරක් ආපු සයිස් එකටම  එනකන් විසිවතාවක් විතර කුකාගේ පැන් වැක්කිරීමේ සොට් එක ගන්න උනා.  පැන් කලේ ට වතුර ඇදලා පින්සර ලමයාටත් මහන්සියි ඕං... ඊට පස්සේ කටුබැද්දේ බස් හෝල්ට් එකක මකුවාටයි, පින්සරටයි පොඩි ආරාධිත රංගනයකට දායකත්වයක් එහෙමත් දුන්නා. එතන  තව තව ආතල් ගොඩයි. සියලු සූටිං පාරවල් ඉවර වෙලා කස්ටිය තම තමන්ගේ  වාසභූමි වලට යවන්නත් පාප්පුවා වාහනයක් ලෑස්ති කරලා තිබුනේ. ඔන්න වාහනේ යද්දි තමා පින්සර ලමයාට මේ කතාව ඇහුනේ, ඔය ගොරහැඩි ඉන්නවනේ එයා සත්තුන්ට හරි කරුණාවයි කියන්නේ. එහෙම කියන්නේ පින්සර ලමයාට ඇහුන කතාබහක් නිසා.

    පාප්පු: "ගොරහැඩි, අර කුකුලා තවම ගෙදර ඉන්නවද?"
    ගොරහැඩි: "නෑ, අනේ ඌ දුන්නා"
    පාප්පු: "මස් කඩේටද?"
    ගොරහැඩි: "නෑ"
    පාප්පු: "එහෙනම් කොහෙටද දුන්නේ?"
    ගොරහැඩි: "කිකිලියො ඉන්න තැනකට"
    පාප්පු: "ඇයි ඒ?"
    ගොරහැඩි: "ඌ පවුනේ.... :P"

ආන්න දැක්කද එයා කොච්චර සත්තුන්ට කරුණාවයිද කියලා.  ඔය අතරෙදි තමා පින්සර ලමයාටත් කෙටි බයිස්කෝප් එකක් කරන්න හිතුනේ. ඒකෙ නම "මැරීඩ් ලයිෆ් විත් මයි ලැම්බට් වයිෆ්" කියන්නේ. ජනකාන්ත නළු බුලුගොල්ලේ බුන්ජා තමා ප්‍රධාන චරිතය රඟපාන්නේ. 
    කස්ටිය ගෙවල් දොරවල් කරා ගියා. පින්සර ලමයා පාප්පුලාගේ ගෙදර නතර උනා. ඕං ඉතින් පලමු දවස ඉවරයි... කතාව මතු සම්බන්ධයි....  හොඳ හොඳ සෙල්ලම් එලිවෙන ජාමෙටයි ඕං..... ලගදිම කියන්නම්.....

Wednesday, July 6, 2011

ඉඩෝරිගේ මොලේ තරම සහ ලංකාවේ ජාතික ගැටළු...

කොළඹ ඉන්න ඉඩෝරි අවුරුද්දකට ගමේ යන්නේ හාවා හඳ දකිනවා ගානට (ඇත්තම කියනවා නම් හද්ද ඩොටේ ඉඳලා කොළොම්පුරට ආපු නිසා එකපාරටම කොළොම්පුරේ ශ්‍රියාව දරාගත නොහැකිව "කොළඹ සන්නිය" නමැති භයානක නිව්මෝනියා උණ හැදිලා). ඒකට තවත් හේතු ගොඩක් තියෙනවා. විශේෂයෙන්ම ඉඩෝරි ගමේ එන ආරංචිය ගමේ මිනිස්සු දැනගත්ත ගමන්ම ගෙවල් දොරවල් වහගන්නවා. කවුරුත් එලියට බහින්නේ බොහොම බයෙන්. ඊට අමතරව හද්දා පිටිසර තියෙන ඉඩෝරිගේ ගමේදී ඉන්ටර්නෙට් ඩොංගලයක් කිතුල් ගහක් මුදුනේ ගැටගහලා වත් සිග්නල් එන්නේ නැති නිසා ඔය කොළඹ ඉඳන් දෙන සයිබර් ක්‍රයිම්ස් කරන්න බැරි එක තවත් එකක්. 
ඔන්න දවසක් අවාරෙට කිතුල් මලක් පිපිලා වගේ ඉඩෝරි ගෙදර ඇවිත් ආපසු යන්න කියලා ල.දු.දෙ කෝච්චි ඉස්ටේසමට ගියා. හත් ඉලව්වයි...! කෝච්චිය විනාඩි 40 ක් ප්‍රමාදයි ලු. ඒක ඉඩෝරිලා ගේ ඒරියා එකෙන් ප.ව 12.56 ට පිටත් වෙන්න තිබුණ එකක්. හැබැයි නගරාන්තර අති සීඝ්‍රගාමී දුම්රියකුත් ප.ව 1.59 එන බව කාලසටහනේ සඳහන් වු බැවින් ඉඩෝරි ප්‍රමාදවුන මන්දගාමී දුම්රියේ ගමන අමතක කර දමා සීඝ්‍රගාමීවම යන්න හිතාගත්තා. ඔය අතරෙ එයාගෙ වෙරි ඕල්ඩ් ප්රෙන්ඩ්ස් කෙනකුත් ඔතනට ආවා. දන්න ටෝක්ස් ටිකක් දාලා එයත් තමාගේ අදහසට කැමති කරවාගෙන ඉන්නකොට ඔන්න අර ප්‍රමාද වු මන්දගාමී දුම්රිය ඉස්ටේසමට ඇවිත් නතර කලා. ඔන්න ඔය වෙලාවේ අර ඉඩෝරිගෙ ප්රෙන්ඩ් නිකමට වගේ ටිකට් කවුළුවට ඔලුව දාලා ඇහුවා  අර සීඝ්‍රගාමී දුම්රිය වෙලාවට එනවාද කියලා. හපොයි....!!! ඒක තව පැයක් ප්‍රමාදයිලු. ඉඩෝරිට දෙලොවම රත්වුණා.  හොඳ වෙලාවට  අර මන්දගාමී දුම්රිය ඉස්ටේසමේ තිබුණා. දනි පනි ගාලා ප්රෙන්ඩ් කෙල්ලත් එක්කම ගොඩවෙලා කොළොම්පුරට ආවාලු. ලංකාවේ උතුරු දුම්රිය මාර්ගේ පොල්ගහවෙලින් එහාට එක රේල්පාරයි තියෙන්නේ කියලා එයාට අමතක උණා කියලා ප්රෙන්ඩ් කෙල්ලට ශේප් එකේ හිනාවක් දාලා කිව්වාලු. තව දෙයක් ඔය මන්දගාමී, සීඝ්‍රගාමී කෝක යන්නෙත් එකම රේල්පාරෙ තමා...

Friday, June 10, 2011

ආදරණීය දමිත් අයියේ........

ඔයාට දැන් මාව මතක් වෙන්නෙත් නෑ නේද. මගේ ලේන් පැට්ටො දෙන්නා දැන් ලොකුයි. ඔයා උන්ට කිරි පොවන්න කියලා දුන්න නිසා තමා.  ඔයාගේ බලු පැට්ටා ට දැන් හොඳද? අපේ තාත්තා දවසක් මගෙන් ඇහුවා ඔයා කව්ද කියලා. මම කිව්වා ඔයා මගේ හොඳ.....ම, හොඳ.....ම, හොඳම යාලුවෙක් කියලා.  මම එක දවසක් ඔයාලාගේ කැම්පස් එකට එනවා කියලා ඔයාට  කිව්වානේ  ඒ  උණාට මම ඇවිත් හැමතැනම බැලුවා ඔයා හිටියේ නෑ නේ.  මගේ යාලුවෙක් කිව්වා එදා ඔයා  තෙල් කඳවුරේ හැංගිලා හිටියා කියලා. ඇයි ඔයා ඒ තරම් මට බයයි ද?  දවසක් මගේ කලින් බෝයි ෆ්රෙන්ඩ්ගේ දැන් ගර්ල් මට කතා කලා. එයා මගෙන් ඇහුවා මම තවමත් එයා ගැන හිතනවද කියලා. මම කිව්වා දැන් දමිත් අයියා මගේ යාලුවෙක් විතරක්ම නෙවෙයි කියලා. ඊට පස්සේ ඒ කෙල්ල මට හිනා වුණා....
    මීට ආදරණීය උපේක්ෂා නංගී.

පසුවදනක්......
මේ කථාව පම්මා අයිෆෝ කාලේ ඇපල් කෑල්ලක් ලෙස දුටු අංගනාවකට තම ජංගම දුරකථන  අංකය ලබා දීමෙන් පසු හුවමාරු වූ කෙටි පණිවුඩ සමුදායක් ඇසුරින් ගොතන ලද සත්‍ය   සිදුවීමකි.  මේ වනවිට ඇය පම්මාට පැපොල් කෑල්ලක් වී ඇති බවයි ආරංචි..... 

Saturday, June 4, 2011

ක්‍රීම්ස් නැති ඩෝ-නට්ස්......

ඔන්න මේ ලගදි  බොකී අපේ  කොල්ලො ටිකකුත් එක්ක හවස්ජාමේ ඕපන් බවන පැත්තේ ගිහින් තියෙනවා මොකුත් සප්පායම් වෙන්න කියලා.  කස්ටිය කවුන්ටරේට ගිහින් කෑම  ගන්නකොට  බොකීත් ගිහින් එයා  කැමතිම කෑමක්  වෙන  ඩෝ-නට්ස් තියෙනවා දැකලා ඇරගෙන  ගිහින් මේසයක ඉඳගෙන කන්න ලෑස්තිවෙනකොට තමා මේ ඇබැද්දිය වෙලා තියෙන්නේ.  හත්ඉලව්වයි..., බවනේ කොලුවා ඩෝ-නට් එක උඩට චිලි පේස්ට් දාලා.....!! මේ වැඩේට බොකීට අසූ හාරදහට කේන්ති ගියපි..., මොකද මීට කලින් බොකී බටර් ගාලා, ක්‍රීම්  දාපු  ඩෝ-නට් මිසක් චිලි පේස්ට් දාපු ඩෝ-නට් කාලා තියෙන එකක් යැයි. ඉතින් මේ විස්තරේ ලග හිටපු පරලා ට බොකී මෙහෙම කිව්වා. "බලන්න පරලා මේ ඩෝ-නට්ස් වලට ක්‍රීම්ස් දාලත් නෑ ඒ මදිවට මේක උඩට චිලි පේස්ට්ස් දාලා......, ටෝටලි ෂිට්........!! " මේ කතාව අහපු පරලාට කකා හිටපු කෑම හිර වෙලා ඇස්වල කඳුලු පිරුණාලු..., මොකද දන්නවද...? ඕපන්  බවනේ හවස් වෙනකොට තියෙනවා හොඳ ලස්සනට පාන් පිටි වලින් හදාපු උඳු වඩේ. බොකී ඩෝ-නට් කියලා හිතාගෙන ඉඳලා තියෙන්නේ ඒ උඳු වඩේ.  අන්න එදා තමා බොකී මුල්ම වරට  උඳු වඩේ කාලා තියෙන්නේ.....

ආයෙත් ආවෝ......

අනේ අපොයි මේකට වෙච්ච දෙයක් කියලා කස්ටිය හිතනවා ඇති, කලෙකින් මේ පැත්තේ ඇවිත් අපේ උන්ගේ කතාවක් කියලා යන්න බැරි උණානේ. අපේ උනුත් ඇහුවා, අපේ අයියලත් ඇහුවා මොකෝ උඹ සද්ද නැත්තේ කියලා. හපොයි ඉතින් ඒකට හේතු ගොඩයි. මුල්ම හේතුව කියන්නම්, ඔය අපේ ගුණමකුවා ඉන්නේ මිනිහා දවසක් මගේ ලැප්ටොප් කෑල්ල අතපත ගාන්න ගිහින් අර බ්ල් ගේට්ස් ලොක්කා ගේ පද්ධතියට කෙලියා. ඒත් ඉතින් මනුස්සකමට මම ඌට කෙලින්න ගියේ නෑ. ඔක්කොම හොඳටයි කියලා මම මනුස්සකම ඇති පද්ධතියක් දාගෙන ඉන්නවා. ඊට පස්සේ ඉතින් එක එක වැඩ සෙට් වුන නිසා මේ පැත්තේ ඇවිත් කතාවක් දෙකක් කියලා යන්න බැරි උනාට අපේ උන්ට සිද්ධ වෙච්ච දේවල් බොහොමයි. වෙලාවක් ලැබුණ හැටියෙම ඕවා මම එලියට ඇදලා දාන්නම්. එතකන් ඔහොම ඉමු නේද?

Saturday, March 12, 2011

අපේ අගේ හන්තානේ.....


මේ කියන්න යන්නේ සමහර විට මට සයිබර් අවකාශයේ ඇඩ්ඩ්‍රස් නැතිවෙන කතාවක් උනාට මට ඉතින් ඒ ගැන ජුන්ඩක් වත් නොකියා ඉන්නම බැරි නිසා ඔන්න. මේ ලඟදි අපේ අගසමි ලොක්කාට හන්තානේ මල් පාර පැත්තේ ලස්සන මලකට හිත වැටිලා නොවැ. උන්නැහේගේ මොබයිල් පෝන් එකෙන් දිගට හරහට මල් පොකුරු, පොකුරු කැඩුවට මොකද මේ ලඟක් වෙනකන් පාත්තියේ සරුසාරෙට එරිලා තිබුන කැරට් කෑල්ලක් කන්න වාසනාවක් තිබිලා නෑ. කොහෙද ඉතින් ඒකට හන්තාන පැත්තෙම යන්න එපැයි. ගොඩක් දවසක ඉඳන් අපේ අගයා ඒ පැත්තට පැනගන්න පුලුවන් වෙන විදියේ ඇල්ගොරිදමක් ගැන ඇහැ ගහගෙන හිටියෙ. අපේ වවුලයි වැද්දයි දවසක් ඔය පැත්තේ පැණි වරකා ගහක් වටේ කැරකෙන්න ගියාට උන් එක්ක අගයා සෙට් වෙන්න ගියේ නෑ. රඟහල අඩ අඳුරේ තියෙන වෙලාවක වැද්දයි වවුලයි උදැල්ලක් එහෙම දැම්මොත් කියලා අගයා ට හිතෙන්න ඇති. ඔන්න අන්තිමට බැරිම තැන හන්තානේ කැලේ ඉඳලා අපේ පාරාදීසයට ආපු කපටි පුංචි නරියා ව මුණ ගැහෙන්න අගයා තීරණය කලා. අගයාගේ මේ දුක අහලා නරියා ඌට උදව් කරන්න තීරණය කරලා පසුගිය සතියේ නරියා හන්තාන කන්දට අල්ලපු කන්දේ ඇති නරි ගෙදරට අගයා එක්කගෙන ගිහින් නරියා දන්න කියන පාරවල් එහෙම පෙන්නලා නොම්මර එකේ කුප්පියක් දැම්මා. මොකද කැරට් කනකොට මාට්ටු උණොත් දුවන අතක් වත් අගයා හන්තාන පැත්තේ දන්නේ නෑ නොවැ. කොහොමෙන් කොහොමහරි අගයා ඉතා සැලසුම්සහගත ආකාරයෙන් හොඳට බැහැලා තිබුණ කැරට් අලයක් එහෙම කාලා පරිස්සමට තමන්ගේ වාසභූමියට පැද්දුව බවයි ආරංචි. හැබැයි ඉතින් අගයා කැරට් කන වෙලාවේ පාත්තිය අයිති ගම රාලයි ගම හාමිනෙයි කැරට් පාත්තිය තිබුණ වත්තේ ඉඳලා තියෙන බව තමා ආරංචි. මාට්ටු උනේ නැත්තේ අගයා පූරුවෙ කරපු පිනකට වෙන්න ඇති. නැත්නම් මේ වෙනකොට අගයාගේ කටු බොඩියට නුවර වැවේ මාලු කොටනවා.   

Wednesday, February 23, 2011

ඉඩෝරිගේ (අ)නියමය The Idori's anomaly


ඉඩෝරි දැන් ඉස්සර වගේ නෙමෙයි ඔන්න. ඔය කෑ ගහගෙන හිටියට මොකද මාර මොළයක් තියෙන්නේ. මේ ලඟදි මහා පර්යේෂණයක් කරලා අළුත් නියමයක් හොයාගෙන. කාටවත් ඕක කියලා නෑ, අපිත් දැනගත්තේ බොහොම අමාරුවෙන්. ලබන මාසේ තමා පර්යේෂණ වාර්තාව එලි දක්වන්නේ. ඒක නිසා දැනට ඉඩොරි හොයාගත්ත දේ පිලිබඳ කෙටියෙන් කියන්නම්. ලෝකයේ සෑම මිනිසෙකුටම අඩුවක් ඇත කියලා ලු එයා හොයාගෙන තියෙන්නේ  

Friday, February 4, 2011

සුපිරි මාරියෝට ආදරය කල කූඹිච්චී.......

ඔන්න මේක සිද්ධවුනේ අපි විභාගෙට ලොවෙත් පාඩම් කරලා බැරිම තැන තනි තනියමත් පාඩම් කරන දවසක. එල් එම් එස් එකෙන් ගේමක් නැතිවම භාගත කරගත්ත ස්ලයිඩ් තොගයක් පැය ගානක් තිස්සේ බලාගෙන ඉඳලා මොලේ කුරුවල් වුන මට පොඩ්ඩක් මූණුපොත පැත්තේ මූණ දාලා එන්න හිතිලා ගියා ඒ පැත්තට. ගිහින් හේනේ පැල වලට වතුර ටිකකුත් දාලා ඉන්නකොට ඔන්න එක පාරටම කූඹිච්චි හායි.....!! කියාගෙන පැන්නා. පිලිතුරු හායි පාර කොටන්නත් කලින් පිනා... මට ලොකු උදව්වක් ඕනා.. කියලත් කිව්වා. ටක්කෙටම මොකක් හරි ඉස්ටඩිස් ප්‍රොබ්ලම්ස් එකක් වෙන්න ඇති කියලා හිතාගෙන පිනා ඉතින් මොකක්ද කෙරෙන්න ඕන කියලා ඇහුවා. මට මේ සුපර් මාරියෝ ගේම් එක හොයලා දෙන්නකෝ.... මම ගොඩක් කල් ඉඳලා හොයනවා.... ඔයා ලඟ නැද්ද ඒක... කියලා කියපි. පිස්සු  ඩබල් කූඹිච්චි ගැන දුකත් හිතුණා. එක්සෑම්ස් නිසා අපේ කූඹිච්චිගේ මොලේ අවුලක්ද කොහෙද. එහෙමත් නැතිනම් අර ඉඩෝරිට තැපෑලෙන් ලිපිනය වැරදිලා, පරක්කු වුන ඉම්පෝටඩ් කේක් කෑල්ලක් වත් උගුරේ හිරවෙලාද දන්නේ නෑනේ. හ්ම්....., ඕන එකක් කියලා එක්සෑම්ස් ඉවරවුනාට පස්සේ සුපර් මාරියෝ බැරිවුනොත් ටිකිරි මාරියෝ හරි හොයලා දෙන පොරොන්දුව පිට හෙමින්ම මුණුපොතෙන් එලියට පැන්නා. අපරාදේ මීට අවුරුදුගානකට පෙර මම, මහා අනර්ඝ වස්තුවක් උන 3 1/2 ෆ්ලොපි ඩිස්කට් එකට සුපර් මාරියෝ දමාගෙන හිටියා මතකයි. හරි..., මම ඔන්න කූඹිච්චිට උන පොරොන්දුව ඉටුකලා සුපර් මාරියෝ හැමෝම බා ගන්න මෙතනට කොටන්න. ඊ ලඟ සෙමෙස්ටරයේ එක්සෑම්ස් කාලෙට ඕන වෙයි.

Saturday, January 1, 2011

2010 න් 2011 ට.....

පසුගිය අවුරුද්ද ඔයාලටත් මටත් අපි හැමෝටමත් ජීවිතයේ අමතක නොවන අවුරුද්දක්...., විටක අපි එකතුවෙලා ගොඩක් සතුටු වුණා... විටක අපිට එකතුවෙලා දුක් කරදර බෙදාගත්තා....., අපි මුණගැහිලා නම් ටික කාලයයි.... නමුත් අපිට දැනෙන්නේ අවුරුදු ගානක ඉඳලා එන බැඳීමක් අපි අතර තියෙනව කියලා...., ඉතින් මේ ලැබූ 2011 අලුත් අවුරුද්ද ඔයාලා සියලු දෙනාටම සාමයෙන් සතුටින් පිරුණ සුභ අලුත් අවුරුද්දක් වේවා.....!!!