Monday, September 26, 2011

සිදරං සහ තවත් කතා...

ඔන්න දැන් සතියකට දෙක්කට ඉහත්තාවෙන් පාප්පුවා, මන්නයා, පම්මා, නරියා සහ පිනා එකතුවෙලා අපේ සීනියර් අයියලා කණ්ඩායමකුත් එක්ක තන්තිරිමලේ ගියා. මේ අපේ නිවාඩු කාලේ නොවැ, ඉතින් ඒ නිවාඩු කාලේ ඔහේ ගත නොකර තන්තිරිමලේ පැත්තේ ගුරුවරුන් හිඟ පොඩි පාසල් තුනක සාමාන්‍ය පෙලට මුහුණදෙන්න ඉන්න නංගිලා මල්ලිලාට ඒ විභාග කඩයිමෙන් එතෙර වෙන්න උදව්වක් කරලා එන්න තමයි එහෙ ගියේ.  ඔන්න ඒ ගමනේ ඇසූ දුටු කතා කීපයක් ගලපන්න තමා මේ ලෑස්තිය.
    උදේ පාන්දරින් කොලොම්පුරේ සිට වවුනියාව බලා ගමන්ගන්නා දුම්රිය තමා අනුරාධපුර තෙක් ගමන් කිරීමට අපි යොදාගැනීමට බලාපොරොත්තු උනේ.  ඊට කුරුණෑගලින් ගොඩවීමට පිනා,  පම්මා සහ මන්නයා සැලසුම් කර තිබුනේ. එහෙත් අනපේක්ෂිත අන්දමින් පෙර දින ඇතිවූ දුම්රිය අනතුරක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමනය අඩාල වීම නිසා පැය කීපයක් දුම්රියස්ථානයේ ප්‍රමාද වීමෙන් පසුව අනුරාධපුරය තෙක් ගමන්කිරීමට බස් රථ වලට ගොඩවීමට  අපට සිදුවුණා. මන්නයා, පිනා, පම්මා  කුරුණෑගල සිට ඇල්ල හරහා අනුරාධපුරයට පැමිණ පැයක් පමණ ගතවු පසු අනික් කණ්ඩායම  හලාවත හරහා පැමිණියා.
                        අනික් අය එනතෙක් පැයක් පමණ කාලයකුත් ඉන්පසු ඔවුන් සමග විවිධ අවශ්‍යතා සඳහා දැඩි අව් රශ්මිය මධ්‍යයේ නගරයේ ඒ මේ අත ඇවිද ඇතිවූ දැඩි පිපාසාවෙන් අපේ දිව ගිලෙන්න ඇවිත් තිබුණේ. ඔහොම පාරේ ටික දුරක් ඇවිද යනවිට දොඩම් ගෙඩි ගොඩක් වටකර ගෙන දොඩම් බීම විකුණන නැන්ද කෙනෙක් පම්මාගෙ  ඔටු ඇස්දෙක දැකලා...... පම්මා එකපාරටම "අන්න සිදරං...... අන්න සිදරං........" කියලා අනික් එවුනුත් ඇදගෙන එතනට  ගියා.  ඊට පස්සේ ඉතින් අපි ජිවිතේ පලවෙනි වතාවට දොඩම් දැක්කෙ අද කියල හිතාගෙන  මෙලෝ රහක් නැතිව කියවනවා...
    "ආ....., මෙන්න තියෙනවා සිදරං....."
    "වතුර තිබහට කියාපු දේ...."
    "මේ ගෙඩිය නම් කූඩලු.."
    "නැන්දේ කීයද සිදරං වීදුරුවක්.....?"
    "අයිස් කැට දාලාද දෙන්නේ....?"
මූ එතන දෙන වදන් වල හැටියට අහලින් පහලින් ගියපු එකෙක් හිතන්න ඇත්තෙ මුට දොඩම් පිලිබඳ උපාධියක් ඇති කියලා. මූ කියවලා නතර කරනකන් ඉඳලා ඒ නැන්දා මෙහෙම කියපි...

    "ලමයො මේව සිදරං නෙවෙයි.... ඔය ලමයා සිදරං දැකලා නැතිව ඇති..."

ඒ පාර පම්මාට වස නෝන්ඩිය. ඒ පාර ඌ මෙහෙම කියනවා

    "ඒක  වෙන්න බෑ... මේව සිදරං ම තමා..... කෝ බලමුකො රේණු ගැලවෙනකොට මට කියන්න පුලුවන්....."

පම්මා ඉතින් මේ දිව ගිලෙන්න එන වෙලාවේ  සිදරං හරි ලදරං හරි  දෙන ඕන මගුලක් බීලා තිබහ නිවාගන්නේ නැතිව  ඒවගෙ උප්පැන්නෙ බල බල ඉන්නව.  ඔන්න නැන්දා බීම හදන්න පටන්ගත්තා, දොඩම් ගෙඩියක්  දෙකට කපලා වීදුරුවකට ටිකක් මිරිකුවා. ඔහොම වීදුරු තුන හතරක අඩියට පොඩ්ඩක් දොඩම් දාලා කොහෙදෝ තිබිලා ගත්ත බාල්දියකින් වීදුරු පිරෙන්න සරුවත් දාගෙන ගියා. මදැයි දොඩම් බොන්න ගියා.., අම්මප අපේ එවුන්ට දිව ගිලිලා තිබුනෙ නැතිනම් අර සරුවත් බීම ටික හලයි පම්මගේ ඔලුවේ....
        ඔය කතන්දර මැද්දෙන් අපි තන්තිරිමලේට යන බස් නැවතුමට ගියා. එහාට බස් යන්නේ පැයකට සැරයක් තිබුන බස්‍ රථයෙ අපිට යන්න තරම් ඉඩ තිබුනෙ නැති නිසා ඊ ළඟ එක එනකන් ඉන්න උනා. කොහොම කොහොම හරි හවස් ජාමෙ වෙනකොට අපිට  නවාතැන් ලැබුණ විශ්‍රාම ශාලාවට අපි ආවා.  ගිමන් නිවාගෙන ඉවරවෙලා කස්ටියම එකතුවෙලා රාත්‍රී ආහාරය ලෑස්ති කරන්න සෙට්වුනා.  එලවළු හෝදන්න, කපන්න, බත් උයන්න, පොල් ගාන්න හාල්මැස්සන් සුද්ද කරන්න. කස්ටිය හෝ ගාලා වැඩ. පම්මා හාල්මැස්සන්  සුද්ද කරන්න අරගෙන ඒක හත් අට වතාවක් හෝදලා අන්තිමට හාල්මැස්සන් පන්සීයෙන් දෙසියපනහක්ම වතුරේ හෝදලා ඉතිරි උනේ දෙසියපනහක්.  පිනා පොල්ගාන්න ගත්තාට පස්සේ පාප්පුවා ඇවිත් පොල්ගෑම පිලිබද විශාරද ටෝක්ස් දීලා පොල්ගෑමේ කර්තව්‍ය භාරගත්තා. ටිකවෙලාවක් ඌ හිරමනය උඩ අර පොඩිකාලේ පදින ලී අස්සයෙක් පැදලා බැරිම තැන යන්න ගියා (සුදු නංගි දන්නවනම් මුට පොල් ගාන්න බෑ කියලා,    නංගි ගහයි බැට්එකෙන්). ඒ පාර මන්නයා පොල් ගෑමේ අනුප්‍රාප්තිකයා වශයෙන් හිරමනේ උඩ ඉඳගත්තා. හැබැයි ඌට පුළුවන් පොල් බෑවෙ වටේට ගාන්න විතරයි. ඌ වටේ ගාලා දෙන ඒවගෙ මැද තව එකෙක් ගාන්න ඕනා.
        ඔන්න ඉතින් අපි පහුවෙනිදා ඉඳන්  පාසලේ ඉගැන්වීම් කටයුතු සාර්ථකව  කරගෙන ගියා. පාසල ඉවරඋනාම හවස්ජාමෙ අපි ඇවිදින්න යනවා තන්තිරිමලේ රජමහා විහාරේ තියෙනවා අති විශාල ගල් තලාවක් (සඳහන් වෙලා තිබුණ විදියට නම් අක්කර 250 ක් පුරාවට පැතිරුන එකක්ලු). ඒ පැත්තට මාස හයකින් විතර හරියකට වැහැලා තිබුණේ නෑ ආරංචියෙ හැටියට. ඉතින් ජල පහසුකම් එහෙමත් සීමිතව පරිභෝජනය කලේ. ඒ මදිවට එහෙ වතුර  සෑහෙන කිවුලයි. අර උසස් පෙලට තිබුණ කාර්මික රසායනයේදි ජලයේ කඨිනත්වය කියන්නෙත් ඕකටම තමා. ඒ පැත්තේ අයට නම් ඒ වතුර බොන එක පුරුදුවෙලා තිබුනට අපිට ඒ වතුර බොන්න හරි අමාරුවුණා. කොච්චර කිවුලද කියලා  පම්මාගෙ  පරීක්සන වලට අනුව කියනවා නම්, වතුර ටික කටට හලාගත් පමණින්ම ශරීර උෂ්ණත්වය හේතුකොටගෙන මුඛය තුලම බයිකාබනේට ටික කාබනේට වශයෙන් අවක්ෂේප වෙනවලු. ඒත් මොනව කරන්නද ඒ වතුර කොහොම හරි බොන්නවුණා. හැබැයි උයන්න පොල් බිඳින වෙලාවට නම් කස්ටිය පෝලිමට පොල් බිඳින එකා පස්සෙන් කෝප්ප අරන් ඇවිත් පොල් වතුර ටිකක් ඉල්ලාගෙන බොනවා.
                දෙවෙනි දවසෙ එලිවෙන ජාමෙ තමා කඨින ජලය පානය කිරීමේ ආනිසංස වශයෙන් අපේ පම්මාට සහ අපේ සීනියර් අයියලා කීපදෙනෙක්ටම බඩු පැකට් වෙලා තියෙන්නේ.  එලිවෙන ජාමෙට පැයක් තියෙද්දි ඔය කියපු කස්ටියට මුත්‍රා අඩස්සිය හැදිලා. ඉන් පස්සේ රෝගීන් ටික  එකතුවෙලා සීනී කිලෝවකටත් වගකියලා නින්ද යන්නේ නැති නිසා අර කලින් කියපු ගලේ ඇවිදින්න ගිහින්.  ඔහොම යනකොට උදේ පාන්දරම දඩාර් සයිස් එකේ පොළොන් තඩියෙක් මූණ ගැහුනාලු. පම්මට නම් මුත්‍රා අඩස්සිය හොඳ වෙලා තියෙන්නේ ඒ වෙලාවෙලු.
                    එදා හවස අපි නවාතැනට එනකොට කලින් දවසෙ හෝදලා දාලා ගියපු අපේ ඇදුම් කීපයක් නැතිවෙලා.  ඇදුම් නැතිඋන අනික් අය තමන්ගෙ ඇදුම් හොයහොයා හිටියට පම්මා උගෙ නැතිඋන කලිසම ගැන පොඩ්ඩක්වත් දුක්වෙන්නේ වත් හොයන්නේ වත් නෑ. රහස මොකක්ද කියල  පම්මට කිට්ටු කරල අහපුවම  ඌ කිව්වේ මෙහෙම කතාවක්.

            "මචං මම ඇරෙන්න ඔය කලිසම  අඳින එකා ඕක ඇඳලා වැඩිකල් ජීවත් වෙන්නෙ නෑ...."

අපිට රෑට නිදාගන්න  සර්පිල දුනු සවිකරපු මෙට්ට ගොඩක් හම්බවුනා. දුවගෙන ඇවිත් මෙට්ටෙට පැන්නාම තුන් හතර වතාවක්ම හොදට බම්ප් වෙනවා. ඒව අපිට ඉතින් ලොවෙත් ආතල්. ඔය අතරෙ නරියා සාම්ප්‍රදායිකව "ද"යනු ස්වරූපයෙන් නිදාගැනීමේ පුරුද්ද නැතිකිරීමට  අපි ගත්ත සියලු  උත්සහයන් අසාර්ථක උනා. කොච්චර දිගෑරලා තිබ්බත් ටිකවෙලාවකින් නරියා අයෙත් "ද"යන්න වගේ නිදි.  ඒ අතරේ පාප්පුවා උගෙ කලින් තිබුණ තුනී ලෑලි ලී මෝල විකුණලා ලොකු ලී මෝලක් ඇරගෙන රෑට කොට ලෝඩ් ගනන් ලී ඉරනවා හෝ ගාලා.
        ඔන්න ඉතින් දවස් තුනක් පවත්වපු අපේ ඉගැන්වීමේ වැඩමුළුව අවසන් වෙලා එදින සවසම අපි ආපහු එන්න පිටත්වුණා. අනුරාධපුරයට ඇවිත් තිසා වැව ලඟින් බැස්සා. තිසා වැව ලඟින් බැස්සේ ඉතින් බලන් ඉන්ට නෙමයි හොඳට නාන්ට. වැස්ස නැති නිසා තිසා වැවෙත් වතුර ඒ හැටි තිබුනේ නෑ. තිසා වැවේ මැද හරියටම කිට්ටු වෙන්න ගියත් ඉන වටක් විතර තමා වතුර තිබුනේ. ඔන්න ඕකේ අපේ කස්ටිය දඟල දඟල ඉන්නකොට පිනාට පුරා වස්තුවක් හම්බවුනා නෙව වැවේ තිබිලා.  ඒක වැඩි දුර පරීක්සන කටයුතු සඳහා පම්මාවෙත අපි යොමු කල අතර එහිදී පුරාණ ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ පැවති දියුණුව පිලිබඳ ඉතා ප්‍රබල සාක්ෂි රැසක් අපට අනාවරණය කරගැනීමට හැකිවුණා. සියලු පරීක්ෂණ අවසන් වූ පසු අනාගත පරපුර උදෙසා අපි එම පුරා වස්තුව තිසාවැව පත්ලෙහිම තැම්පත් කොට සංරක්ෂණය කලා. අපි කොලොම්පුරට එන්න තීරණය කරලා තිබුනේ වවුනියාවේ සිට කොලොම්පුර බලා යන රාත්‍රී තැපැල් දුම්රියෙන්. ඒක අනුරාධපුරයට එන්නෙ රෑ 11.30 ට. අපි තිසා වැවෙන් ගොඩ එනකොට හවස 6.30ට විතර. වෙන කරන්න දෙයකුත් නැති නිසා අපි ගියා පූජනීය නගරය වන්දනාමාන කරන්න. පලමුවෙන් මිරිසවැටියටත් ඉන් පසු රුවන්වැලි මහ සෑයත්, ශ්‍රී මහා බෝධියත් වන්දනා කරන්න ගියා.
            ඔන්න ඉතින් අපේ අය මිරිසවැටිය, රුවන්වැලිසෑය ගැන එහෙම තමන් දන්න කියන ඉතිහාස කතා අනික් අයට කියලා දෙනවා. පම්මත් ඉතින් දන්න මගුලකුත් නෑ නොදන්න මගුලකුත් නෑ නේ. ඕන් ඉතින් මූ ඒකාලේ හිටපු එකෙක් වගේ ඉතිහාස කතා කියලා දෙනවා. අනේ ඉතින් පිනාත් මූ පස්සෙන් වැටිලා ඒ කතා අහ අහ ඉන්නවා. ඔහොම කතා කියකිය ඇවිත් අර රුවන්වැලි මහ සෑරදුන් ඉස්සරහම මූ ඇදබෑවනෙ පට්ටම පට්ට රජ කෙප්පයක්. ඒ කතාව මෙන්න මෙහෙමයි.
        පම්මත් එක්ක පිනා රුවන්වැලි සෑරදුන් පැදකුණු කර කර ඉන්න වෙලාවේ පම්මට එකපාරටම දෙයක් මතක් වෙලා පිනාගෙන් මෙහෙම ඇහුවා.

       පම්මා : "මේ උඹ දන්නවානේද දුටුගැමුණු රජතුමාගෙ මඟුල් ඇතා.....?"
       පිනා : "මඟුල් ඇතා...!! ආ... ඔව්.."
       පම්මා : "අන්න ඒ මඟුල් ඇතාගෙ දළයක් රුවන්වැලි සෑයේ පැත්තකින් මතුවෙලානේ..... පේන්න තියෙනවා"
       පිනා : "ආ.. ඇත්තද... කොතනද තියෙන්නේ...?"
       පම්මා : "වටෙන් යමුකො මම පෙන්නන්නම්..."

එහෙම කියලා ටික දුරක් ගියපු පම්මා රුවන්වැලිසෑයෙ පාමුල එක තැනක නතර වෙලා ඉඳගෙන සලපතල මළුවෙන් උඩට ඉපිලුන රවුම් හැඩැති සුදුපාට යමක් පිනාට පෙන්නුවා. බැලූ බැල්මට ඒක ඇත් දලයක අග කොටස පොලව තුලින් ඉහලට මතුවෙලා තියෙනව වගේ පේන්නෙ.  අනේ ඉතින් පිනා ඒ ප්‍රෞඩ මඟුල් ඇතුගේ දළය දෙස ප්‍රීතියෙන් යුතුව බලා ඉන්න අතරතුරේ පම්මා ඒකෙ ඡායාරූප කීපයකුත් ගත්තා.  ඉන් පස්සෙ දෙන්නාම   සලපතල මළුවේ  කෙලවරක සිටි අනික් අය ගාවට ඇවිත් ඉඳගත්තා.  ඇවිත්  පම්මා අර ඇත් දළයක් කියපු එකේ ගහපු ඡායාරූප ටික පෙන්නනවා වැඩර් වගේ.  ඔන්න දැන් ඒක අනික් අයටත් බලන්න ඕන වෙලා. කස්ටියම නැගිටලා ගිහින් බලනවා.  ටික වෙලාවකින් ගියපු අය හිනාවෙවී එනවා. බැලින්නම් පම්ම කියලා තියෙන්නේ පට්ටම පට්ට කෙප්පයක්. ඒක තියෙන්නේ වහින දවස් වලට සලපතල මළුවේ එකතුවෙන ජල මට්ටම මනින්නලු.
            ඔයවගේ කියවුන සහ තවත් නොකියවුන කතා ගොඩක් මැද්දෙන් අපි සහභාගිවුණ පලමු වැඩමුලුව ඉවර වෙලා අනුරාධපුර දුම්රියස්ථානයේ බිම එලාගත් සිලිමල්ලක් උඩ කාපුවාම කන් අඩිවලින් දුම් දාලා, ඇස් වලින් කඳුලු බේරුන සීනි සම්බෝලයක් එක්ක පාන් කාලා, රාත්‍රි තැපැල් දුම්රියෙන් අපි ගෙවල් දොරවල් කරා ආවා....