Thursday, November 1, 2012

පැණි ආප්ප...෴

ඔන්න පහුගිය දොහක ඉදන් අර පන්නිපිටියෙ බෝතල් පත්තරකාර බොරිස් කොලුවයි පින්සර කොලුවයි හවස් ජාමෙට යුනිවෙසිටියෙ වයි ෆයි උපාධි කටයුතු අහවර කරලා ගස්යාය පැත්තෙ තිබුන පොඩි සයිවර කඩේකින් සප්පායම් වෙන්ට පුරුදුවෙලා හිටියා. ඔයාලා දන්නව ඇතිනෙ බොරිස් කොලුවට කෑමක් කිව්වොත් මොනදේ උනත් දිවියලෝක රස දැනෙන එකා කියලා. ඔන්න ඔහොම සතියක් දෙකක් යනකොට මේ රසබර කතාව අර සාත්තර කියල ජීවිතේ ගැටගහගන්න බයාස්තර කොලුවටයි හද්ද පිටිසර ඉදලා කොලොම්පුරට පය ගහපු මෙරිය කොලුවටයි මේ බොරිස් කොලුව රස කොරලා කියලා තියෙනව. ඉතින් ඒ රසවත් කතාව අහපු උන්දෙන්නටත් හවස් ජාමෙ වෙනකන් ඉවසගෙන ඉන්ට බැරිව බොරිස් කොලුවත් එක්ක මද්දහන පහුවෙච්ච ගමන්ම වගේ හූ දෙකහමාරක් විතර දුරින් තියෙන ගස් යායට පයින්ම ගිහින්. සයිවර කඩේ පුටු දෙකතුනකට හරිබරි ගැහුන කස්ටිය වේටර කොළුවට කතාකොරලා කිව්වලු උන් කන්ඩ කැමති ආසම ආස කෑම ගේන්ටැයි කියල. අන්න ඒ කතාව මෙහෙමයි වෙලා තියෙන්නේ.

              "මල්ලි, අපිට පරාටා ගේන්ඩ..."
              "අයියා.., පරාටා නම් නෑ.., ආප්ප තියෙනවා..."
              "ආ.., එහෙනම් මල්ලි.. බිත්තර ආප්ප තුනකුයි.. ප්ලේන් ආප්පයි ගෙන්ඩ..."
              "අයියා.., පැණි ආප්ප විතරයි තියෙන්නෙ.."
              "අප්පා මල්ලි.., වෙන මොනවද කන්ඩ තියෙන්නෙ...?"
              "පුස්නාප්ප තියෙනවා...."

ඔච්චර වෙලාවක් මේ සංවාදෙ දිහා බලන් හිටපු මෙරියා ඉහවහ ගොහින් තිබුණු බඩගින්නෙන් යුතුව වේටර කොලුවගෙන් මෙන්න මෙහෙම ඇහුවලු

               "මල්ලි..., ඒ ආප්ප කන්ඩ බැරිතරම් පුස් ද?.."

ඒක අහපු බයාස්තර වැඩේ දෙල් වෙන්ට යන බව දැනගෙන සයිවර කඩෙන් පැණි ආප්පෙකුත් ඕඩර කොරල කාලා අහවර උනාට පස්සෙ වේටර කොලුවට අයෙත් කතාකොරලා කිරිතේ ඉල්ලලා. ඒත් ඉතින් ඒ කඩේ කිරිතේ තිබිල නෑ ඔන්න. ඒ පාර ප්ලේන්ටි ඉල්ලා අවාසනාවට ඇත්ත කතාවක් කියල ප්ලේන්ටියක් වත් තිබිල නෑ. අන්තිමට මෙරියා ඉතාම බැගෑපත් ආකාරයෙන් වේටර කොලුවගෙන් මෙහෙම ඇහුවලු.

"අනේ මල්ලි.., අඩුම තරමෙ මට උණුවතුර ටිකක් වත් දෙනවද...?"

අනේ ඉතින් කාගෙ අවාසනාවද මන්ද අඩුම තරමෙ උණුවතුර ටිකක් වත් උන්ට බොන්ට තිබිල නෑ ඕං.., ඉතින් අන්තිමට කස්ටියම ඇල්වතුර ටිකක් නිවල බීල බොරිස් කොලුවට පලු යන්න බැණ බැණ යන්ට ගියාලු...