Sunday, March 25, 2012

සැමදා නියං එකදා වැහි වලාවේ....

          හෆ්ෆේ ගොඩක් කාලෙකින් මේ පැත්තේ ගොඩවැදුණා ඕං. කොහෙද ඉතින් දැන් දැන් තියෙන වැඩ රාජකාරි කොරන්ට ගියාම පික්සු හැදෙනවා නොවැ. හ්ම්..., සැමැස්ටොර් එකකුත් අහවර කොරලා ඉන්න වෙලාවේ,  බොලොගියෙ තිබූන දූවිලි ටිකක් එහෙම කාරිය පිහදාලා ආයෙත් පටන් ගම්මුකෝ අපේ එකෙක්ගෙ මරිසි කෑල්ලක් වදාරන්ට. ඊට කලියෙන් පොඩි ඉන්ටොඩක්සොන් එකක් තියෙනවා ඒකත් බලලාම ඉමුකෝ.
        ඉබ්බා යනු සරසවියේ බොහෝ කොල්ලන් මෙන්ම කෙල්ලන්ගේ ද ඉතා භක්තියාදරයෙන් අදහන්නාවූ සත්වයෙකි. බොහෝ විට ඉබ්බා අප  කොලු ගැටවුන්ගේ සහ ගැටිස්සියන්ගේ ගමනාගමන කටයුතු සඳහා උපකාරීවේ. මේ ඉබ්බන් ඇදහීමේ සංස්කෘතිය සරසවිය තුල පරපුරෙන් පරපුරට ලැබුණ අගනා දායාදයකි. එහෙත් ඇතැමුන් මේ ඉබ්බන් ඇදහීම තුල අන්තවාදී වීමෙන් යම් යම් අනිටු පල විපාකයනට ගොදුරු වීම කණගාටුදායක තත්වයකි. අපගේ ජ්‍යෙෂ්ඨ සහෝදරයන් අපහට කියාදුන් ආකාරයට ඉබ්බන් වන්දනාව බස් මඟින් ගමනාගමනයේදී සිදුකිරීම කැප වන අතර එය දුම්රිය මඟින් ගමනාගමනයේ යෙදීමේදී සිදුකල නොයුත්තක් බවය.
        ඔන්න ඒ ඉන්ටොඩක්සොන් එක අහවරයි. දැන් ඉස්ටෝරියට බහිමු. මේ කියන්ට යන්නේ අපේ  පුදයා ගැනයි ඔන්න. ඔය ඇල්වතුරත් නිවලා බීලා, හතර පෝයට සිලුත් අරන් ඉන්න ඉස්ටැයිල් එකට හිටියට කොලුවා තනිකරම ඉන්ටොනැසනල් ගේම්ස් දෙන චරිතයක්.  ඒ වගේම  මහා පරිමාණයෙන් ඉබ්බන් වන්දනාව  කරගෙන යන කොලුවෙක්.   මහා පරිමාණය ගැන දල අදහසක් දෙන්ටයි කියල මෙහෙම කියන්ට පුළුවන්, මේ කොලුව කිසිම ආබාධයක්, අනතුරක් නැතිව  සැමදා දුම්රියේත්  ඉබ්බා දානව ඔන්න. නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක උනත් කිසිම ගැටළුවක් නෑ. ඒ තරමට පොෆෙසොනල්  පොරක්. ඉතින් ඒ පින් බලයේ මහිමයෙන් කොලුවා ලඟ  අතේ මිටේ ගිඟයක්  තිබුණ දවසක් කවදාවත් නැති තරම්.  
    පහුගිය දොහක අපිට සැමැස්ටොර් විභාගෙ තිබුණා නොවැ. ඉතින් ඔන්න විභාගෙ කාරිය ඉවර කොරලා තම තමන්ගෙ ගෙවල් දොරවල්  බලලා එන්ටැයි කියල හිතාගෙන තමා පින්සර ලමයයි, පම්ම කොලුවයි පැලෑන ගහගෙන හිටියෙ.  වරදක් කියන්ට නෑ ඔන්න පුදයත් මේ දෙන්නගෙ ඒරියල් එකේම පොරක් තමා. ඉතින් ඌටත්  ගමනට  එකතුවෙන්ටයි කියලා ආරාධනා දීලයි තිබුණෙ.  
        ඔන්න ඉතින් තම තම නැණ පමණින් විභාග කාරිය අහවරක් කොරලා පම්මයි, පින්සරයි බැස්සා පාරට දුම්රිය පොලට යන්ට බසයක් අල්ලාගන්ටයි කියල. ඒත් කෝ මේ පුදයා..? වටයක් දෙකක් කැරකිලා බැලුවට පේනතෙක් මානෙක නෑ.  ඔන්න එතකොටම  අපෙ ගොට්ටි නඟා ඇවිත් මෙහෙම කියපි.
        "ඔයාලට එයා එන්න කිව්වා ඉස්ටෙසමට.., එයා බස් එකක නැගල ගියා..."

බලමුකො ඒකෙත් හැටි කියලා ඒ දෙන්නත්  කොටුවට යන බසේක එල්ලුනා ඕං.  තැලිල, කැරකිල, පොඩිවෙල ගියපු රයිඩ් එකකින් පස්සෙ ඔන්න පින්සර ලමයයි, පම්මයි කොටුව දුම්රියපොල ඇතුලට එන්ටොර් උනා. නැවතත් ප්‍රශ්ණය කෝ මේ පුදයා...?   සාමාන්‍යයෙන්  දුම්රිය තියෙන පැලට්ෆෝම් එකේ වටයක් කැරකිලා එන  අතරෙ මෙන්න ඉන්නවා  පුදයා...!! ඇටිකෙහෙල් කාපු ගොබිලෙක් වගේ මූණත් අබිලික් කොරගෙන. මුට මොකද වෙලා තියෙන්නෙ  බලන්ටෙයි කියල දෙන්නම ඌ ලඟට කිට්ටු කලා.
        මොකෝ බන්....?

  ම්....හ්, මෑන්ස් නෝ ටෝක්ස්...., නෝ ඉස්මයිල්ස්....,
        "මොකක්ද සීන් එක බන්...?"

  ඔන්න ඒ පාර පුදයා සීන් එක එලියට දැම්මා...
        "ඒ.... හරි වැඩේ නෙ බන් ඉබ්බෙක් දාන්න ගිහින් මාට්ටුයි කියහන්කො..."

        හෆ්ෆොයි..., මොන කතා කිව්වත් මුගේ  ගල් පැලෙන කෙප්පයක් කියලා තමා  පම්මයි,   පින්සරයයි හිතුවෙ.
        "පලයන් ඩෝ..., උඹ හිතුවද අපි රවට්ටන්න. උඹ ඉබ්බ දාලා මාට්ටු උණොත්  ඉතින් බැරියැයි..."

        කොහොම කයි කතන්දර  කිව්වත්. පින්සරටයි පම්මටයි මේ කථාව පිළිගන්ට බැරිඋණා. මොකද  මෑන්ස්ගෙ හැටියට ඒ කතාව විසංවාදයක් ඔන්න. ඒ පාර මූ, සාක්කුවට අතදාලා ඇදලා ගත්තෙ නැතැයි තුන්ඩු කෑල්ලක්.  ඇරන් දික්කොලා අරුන් දෙන්න දිහාට. හෆොයි..., මොණරෙක්.....!!  සැමදා නියං එකදා වැහි වලාවේ කිව්වලු. චිරාත් කාලයක් ඉබ්බන් ඇසුරෙන් ගමනාගමනය ගැටගසාගත් අපේ පුදයා හට මෙවර එම අවස්ථාව අහිමි වී ඇති බව රතු පාට තුන්ඩු කෑල්ලක මොණරෙක් සනිටුහන් වී  තිබෙනු දුටු පසු පින්සරගේ සහ පම්මාගේ  වාචාල සිනා හඬ දුම්රියපොලේ  මැදිරි අතරින් වා තලයට මුහුඋණා ඕං.