Sunday, March 25, 2012

අර්ධ පාරගම්‍ය පටලය...෴

        ඔන්න මේ කියන්න යන්නේ පැරණි කතාවක කියන්න බැරිවෙච්චි අතුරු කතාවක්. කස්ටියට මතක ඇතිනේ අර සිදරං සහ තවත් කතා වල කියවුන අපේ තන්තිරිමලේට ගිය ගමන. අන්න එදා වෙච්ච සිදුවීමක් තමා මේ.
ඔන්න එදා දුම්රියෙන් අනුරාධපුරයට යන්න බැරිවෙච්චි අපිට යන්න වුණේ බසයෙන්.  ඒ වනවිටත් මන්නයා ඇතුගල පාමුල බස් නැවතුමට වාර්තා කරල තිබුනෙ නැති නිසා. ඇතුගල නැවතුමේ, අනුරාධපුර බස් නැවතුම අසල පොඩ් හේත්තුවක් දාගෙන පින්සර ලමයා ඉන්න වෙලාවේ.  ළඟ හිටපු පම්මා කියන මොංගල් කතා ඕනැවට එපාවට වගේ අහගෙන හිටියෙ. පම්ම  ඉතින් දන්න දෙයකුත් නෑ නොදන්න දෙයකුත් නෑ කියල කස්ටිය දන්නව ඇතිනෙ. නොයෙකුත් කතා අස්සෙන් මූ ඉගැන්වීම නමැති මාතෘකාව හරහා අ.පො.ස සා.පෙල විද්‍යාව ගැන කතා කරන්න පටන් අරගෙනයි තිබුනෙ. ඒ මදිවට අර දෙනෝ දාහක් මැද්දෙ මේ යකා සා.පෙල විද්‍යාව අච්චු පොතකුත් දිගෑරගෙන. ඒකෙ පළමු පාඩම  පින්සර  කොලුවට ව්ස්තර කරමින් හිට්ය. පින්සරට දැන් මේකගෙ කියවිල්ල හොඳටම එපාවෙලයි තිබුණෙ.  ඔන්න එකපාරටම පම්මා මෙහෙම අහනවා.

    "ඒයි..., උඹ දන්නවද නිවසේදී අර්ධ පාරගම්‍ය පටලයක් නිර්මාණය කරගන්නා අයුරු...?"
    මොකක් කිව්ව...?
    අර්ධ පාරගම්‍ය පටලයක් නිර්මාණය කරන හැටි...? අර බිත්තර කට්ටෙන්...

ඒ පාරනම් පින්සර කොලුවට අසූ හාරදට මල පැන්නා..
අනේ යකෝ...., ටිකක් කට වහගෙන හිටපන්කො... අද උදේ ඉදන් කට්ට කාලා එපා වෙලා ඉන්න වෙලාවෙ තෝ මේ මඟුල් පටලයක් ගැන කතාකරනව. @#$%^&*....!!!!
අන්න ඊට පස්සෙ පම්ම අච්චු පොතත් බෑග් එකට කොටාගෙන පාඩුවෙ කට වහෙගෙන හිටිය, ඒත් හැබැයි ටික වෙලාවකට.

සැමදා නියං එකදා වැහි වලාවේ....

          හෆ්ෆේ ගොඩක් කාලෙකින් මේ පැත්තේ ගොඩවැදුණා ඕං. කොහෙද ඉතින් දැන් දැන් තියෙන වැඩ රාජකාරි කොරන්ට ගියාම පික්සු හැදෙනවා නොවැ. හ්ම්..., සැමැස්ටොර් එකකුත් අහවර කොරලා ඉන්න වෙලාවේ,  බොලොගියෙ තිබූන දූවිලි ටිකක් එහෙම කාරිය පිහදාලා ආයෙත් පටන් ගම්මුකෝ අපේ එකෙක්ගෙ මරිසි කෑල්ලක් වදාරන්ට. ඊට කලියෙන් පොඩි ඉන්ටොඩක්සොන් එකක් තියෙනවා ඒකත් බලලාම ඉමුකෝ.
        ඉබ්බා යනු සරසවියේ බොහෝ කොල්ලන් මෙන්ම කෙල්ලන්ගේ ද ඉතා භක්තියාදරයෙන් අදහන්නාවූ සත්වයෙකි. බොහෝ විට ඉබ්බා අප  කොලු ගැටවුන්ගේ සහ ගැටිස්සියන්ගේ ගමනාගමන කටයුතු සඳහා උපකාරීවේ. මේ ඉබ්බන් ඇදහීමේ සංස්කෘතිය සරසවිය තුල පරපුරෙන් පරපුරට ලැබුණ අගනා දායාදයකි. එහෙත් ඇතැමුන් මේ ඉබ්බන් ඇදහීම තුල අන්තවාදී වීමෙන් යම් යම් අනිටු පල විපාකයනට ගොදුරු වීම කණගාටුදායක තත්වයකි. අපගේ ජ්‍යෙෂ්ඨ සහෝදරයන් අපහට කියාදුන් ආකාරයට ඉබ්බන් වන්දනාව බස් මඟින් ගමනාගමනයේදී සිදුකිරීම කැප වන අතර එය දුම්රිය මඟින් ගමනාගමනයේ යෙදීමේදී සිදුකල නොයුත්තක් බවය.
        ඔන්න ඒ ඉන්ටොඩක්සොන් එක අහවරයි. දැන් ඉස්ටෝරියට බහිමු. මේ කියන්ට යන්නේ අපේ  පුදයා ගැනයි ඔන්න. ඔය ඇල්වතුරත් නිවලා බීලා, හතර පෝයට සිලුත් අරන් ඉන්න ඉස්ටැයිල් එකට හිටියට කොලුවා තනිකරම ඉන්ටොනැසනල් ගේම්ස් දෙන චරිතයක්.  ඒ වගේම  මහා පරිමාණයෙන් ඉබ්බන් වන්දනාව  කරගෙන යන කොලුවෙක්.   මහා පරිමාණය ගැන දල අදහසක් දෙන්ටයි කියල මෙහෙම කියන්ට පුළුවන්, මේ කොලුව කිසිම ආබාධයක්, අනතුරක් නැතිව  සැමදා දුම්රියේත්  ඉබ්බා දානව ඔන්න. නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියක උනත් කිසිම ගැටළුවක් නෑ. ඒ තරමට පොෆෙසොනල්  පොරක්. ඉතින් ඒ පින් බලයේ මහිමයෙන් කොලුවා ලඟ  අතේ මිටේ ගිඟයක්  තිබුණ දවසක් කවදාවත් නැති තරම්.  
    පහුගිය දොහක අපිට සැමැස්ටොර් විභාගෙ තිබුණා නොවැ. ඉතින් ඔන්න විභාගෙ කාරිය ඉවර කොරලා තම තමන්ගෙ ගෙවල් දොරවල්  බලලා එන්ටැයි කියල හිතාගෙන තමා පින්සර ලමයයි, පම්ම කොලුවයි පැලෑන ගහගෙන හිටියෙ.  වරදක් කියන්ට නෑ ඔන්න පුදයත් මේ දෙන්නගෙ ඒරියල් එකේම පොරක් තමා. ඉතින් ඌටත්  ගමනට  එකතුවෙන්ටයි කියලා ආරාධනා දීලයි තිබුණෙ.  
        ඔන්න ඉතින් තම තම නැණ පමණින් විභාග කාරිය අහවරක් කොරලා පම්මයි, පින්සරයි බැස්සා පාරට දුම්රිය පොලට යන්ට බසයක් අල්ලාගන්ටයි කියල. ඒත් කෝ මේ පුදයා..? වටයක් දෙකක් කැරකිලා බැලුවට පේනතෙක් මානෙක නෑ.  ඔන්න එතකොටම  අපෙ ගොට්ටි නඟා ඇවිත් මෙහෙම කියපි.
        "ඔයාලට එයා එන්න කිව්වා ඉස්ටෙසමට.., එයා බස් එකක නැගල ගියා..."

බලමුකො ඒකෙත් හැටි කියලා ඒ දෙන්නත්  කොටුවට යන බසේක එල්ලුනා ඕං.  තැලිල, කැරකිල, පොඩිවෙල ගියපු රයිඩ් එකකින් පස්සෙ ඔන්න පින්සර ලමයයි, පම්මයි කොටුව දුම්රියපොල ඇතුලට එන්ටොර් උනා. නැවතත් ප්‍රශ්ණය කෝ මේ පුදයා...?   සාමාන්‍යයෙන්  දුම්රිය තියෙන පැලට්ෆෝම් එකේ වටයක් කැරකිලා එන  අතරෙ මෙන්න ඉන්නවා  පුදයා...!! ඇටිකෙහෙල් කාපු ගොබිලෙක් වගේ මූණත් අබිලික් කොරගෙන. මුට මොකද වෙලා තියෙන්නෙ  බලන්ටෙයි කියල දෙන්නම ඌ ලඟට කිට්ටු කලා.
        මොකෝ බන්....?

  ම්....හ්, මෑන්ස් නෝ ටෝක්ස්...., නෝ ඉස්මයිල්ස්....,
        "මොකක්ද සීන් එක බන්...?"

  ඔන්න ඒ පාර පුදයා සීන් එක එලියට දැම්මා...
        "ඒ.... හරි වැඩේ නෙ බන් ඉබ්බෙක් දාන්න ගිහින් මාට්ටුයි කියහන්කො..."

        හෆ්ෆොයි..., මොන කතා කිව්වත් මුගේ  ගල් පැලෙන කෙප්පයක් කියලා තමා  පම්මයි,   පින්සරයයි හිතුවෙ.
        "පලයන් ඩෝ..., උඹ හිතුවද අපි රවට්ටන්න. උඹ ඉබ්බ දාලා මාට්ටු උණොත්  ඉතින් බැරියැයි..."

        කොහොම කයි කතන්දර  කිව්වත්. පින්සරටයි පම්මටයි මේ කථාව පිළිගන්ට බැරිඋණා. මොකද  මෑන්ස්ගෙ හැටියට ඒ කතාව විසංවාදයක් ඔන්න. ඒ පාර මූ, සාක්කුවට අතදාලා ඇදලා ගත්තෙ නැතැයි තුන්ඩු කෑල්ලක්.  ඇරන් දික්කොලා අරුන් දෙන්න දිහාට. හෆොයි..., මොණරෙක්.....!!  සැමදා නියං එකදා වැහි වලාවේ කිව්වලු. චිරාත් කාලයක් ඉබ්බන් ඇසුරෙන් ගමනාගමනය ගැටගසාගත් අපේ පුදයා හට මෙවර එම අවස්ථාව අහිමි වී ඇති බව රතු පාට තුන්ඩු කෑල්ලක මොණරෙක් සනිටුහන් වී  තිබෙනු දුටු පසු පින්සරගේ සහ පම්මාගේ  වාචාල සිනා හඬ දුම්රියපොලේ  මැදිරි අතරින් වා තලයට මුහුඋණා ඕං.   

Wednesday, December 21, 2011

ජාවා හෑවා....

හෆ්ෆේ මේ පැත්තේ ගොඩවැදෙන්ට සෑහෙන කාලයක් ගියා නොවැ... දැන් ඉතින් ඉස්සර වගේ  පිස්සු බයිලා කෙලින්ට අපේ අයට ටිකක් විතර කාල වේලා නෑ ඔන්න..  පින්සර ලමයාටත් සෙමෙස්ටරය මැද ලැබුණ නිවාඩුව අස්සේ නොකියා හිටියොත්  කට කහන අපේ එවුන්ගේ කයි කතන්දරයක් දෙකක් කියලා යන්ට ඕනැයි කියලා තමා මේ පැත්තේ  ගොඩවැදුනේ ඕං....

දැන් ඉතින් අපි දෙවැනි වසරේ නෙව. අපිටයි කියලා පොඩිඑවුන් ටිකකුත් දැන් ඉන්නව ඕං.  නවක පොඩි ඈයො ටික හදල වඩලා ගන්ටයි කියලා අපි එයාලට නම්නීකොරනය කියල වැඩසටහනක් කිරියාත්මක  කොරලා තිබුනේ  උන්දැලා අපේ සරසවියට ආපු මුල් දොහේ. ඒ කාලේ ඉතිං පොඩි කොල්ලන්ට කෙල්ලන්ට එන්ටැයි කියලා ආගිය ව්ස්තර කතා කොරනවා දැනහඳුනා ගන්ටත් එපැයි කව්ද මුන්නැහෙලා කියලා. ඔන්න ඔය අතරෙ  අපේ ජාවා කොලුවට වයර් මාරුවක් වෙලා සාටර් උන සිද්දියක් ගැන තමයි  මේ  අකුරු අමුණන්ට හරිබරි ගැහෙන්නේ. අපේ ඇන්න කොලුවටත් ඔය වයර් මාරුවක් වෙලා තිබුනාය කියලා අපේ පාප්පුවා අපේ  කතා වලට වාර්තා කොරලා තිබුනේ මෙයිට ඉස්සරල.  හ්ම්.. අපි කතන්දරේට එන්ටොර් වෙමුකෝ..
    ඔන්න අපේ පොඩි ඈයොන්ගෙ බැච් එකේ හිටියා කොයි වෙලාවෙත් ලැජ්ජාවෙන් මූණු පොඩිය රතු කොරගෙන හිටපු පුංචි නඟා කෙනෙක්. අපි එයාට "තුත්තිරි" කියලයි නම් දීල තිබුනෙ මට මතකෙ හරි නම්.  දවසක්  අපේ බවනෙදි අපේ කස්ටියක් එකතු වෙලා ඔය පොඩි ඈයො ඉන්ටෙව් කොරන වෙලාවක ඔය කියපු තුත්තිරි නඟාව ඉන්ටෙව් එකට කැඳෙව්වා ඔන්න. ඉන්ටෙව් බෝඩ් එකේ ජාවා, පාප්පුවා,පින්සර සහ තවත් හතර පස් දෙනෙක්ම හිටියා මතකෙ හැටියට. 
දැන් ඉතින්  උපන් දිනය, උපන් ස්තානය, නම,  නමේ තේරුම , ගම , ගමට නම යෙදුන හැටියෙන් පටන් ගත්තාම  ගඩාෆි  ගේ බාප්පගෙ පුතාගෙ නම දක්වා තියෙන පුරස්න  ඉන්ටෙව් බෝඩරයෙන් ඉදිරිපත් කෙරෙන්ට නියමිතයි.  ඔය අතර මඟකදි  මෙන්න මෙහෙම පුරස්නෙයක් ඉදිරිපත් කෙරෙනව.

                         "නංගි, තාත්තා මොකද කරන්නේ...?"

අනේ කෙල්ල බොහොම අමාරුවෙන් ඇදල පැදල, ඇඹරි ඇඹරි මෙහෙම කියනව

                         "මහජන සෞඛ්‍ය පරීක්ෂක"

ඒ වචන ටික බොහොම අමාරුවෙන් වෙන්ටැති අමුණා ගන්ට ඇත්තේ. මොකද ඒ කාලෙදි පොඩි ඈයොන්ට කඩු හරඹ දැක්වීම සපුරා තහනම් කොරලා නේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ පාප්පුවා ඇහුවා
                         "ආ.. නංගිගෙ තාත්තා PHI කෙනක්ද..?" කියලා..

ඔන්න ඔයවෙලාවේ අපෙ ජාවා ලොක්කා කොහෙදෝ මනෝපාරක ඇවිද ඇවිද ඉඳලා පියවි ලෝකෙට අඩිය තිබ්බා විතරයි. ජාවා එකපාරටම පුදුමෙන් වගේ
                          " මොනවා, PHP.....!!! හා... හා... හොඳයි හොඳයි..."
          කස්ටියම මේ ජාවා දෙලොව පටලෝගෙන කියපු කතාව කොහෙන් දිරවා ගන්ටදැයි කියන අමාරුවෙන් වගේ තුස්නිම්බූතව මොහොතක්  බලන් ඉන්ට ඇති. ඉන් පස්සේ කස්ටිය පොලොවෙ හැපි හැපි හිනාවෙන දිහා ජාවා තුස්නිම්බූතව බලන් හිටියා හාංකවිසියක් වත් නොදැන.
    මොනවා කොරන්නද ජාවෝ. මේ ලෝකේ අපිට වැඩියෙන්ම ඇහෙන්නේ  JAVA,PHP,HTML,CSS,C යනාදී කොම්පීටර සම්බන්ද වචන නොවැ.   මේ දවස් වල වැස්ස ගොරවන එක ඇහෙනව ඇත්තෙත් Domain... Domain... කියලා වෙන්ටැති නේ....

Monday, November 21, 2011

ඇන්නාගේ සිහිකල්පනාව

ඔන්න උණු උණු කැවුම් වගේ news එකක්. මේක උනේ අද හැන්දෑවේ.....පොඩි උන් බෝධි පූජාව එහෙම කරලා යන්න නැග්ග බස් වල,,,, මමත් හිටියේ අයිනක. කළු තඩි එකෙකුයි තව එකෙකුයි එක්ක කතා කර කර ඉන්නකොට අපේ ඇන්න නැග්ග බස් එකට පොඩි කෙල්ලෝ දෙන්නෙකුත් එක්ක. අප්පා බලන්න එපෑ ඇන්නගේ මූණ.....යකා වගේ,,,, දැන් ඔන්න අර කළු තඩි එකාව අල්ලාගෙන බනින්න ගත්ත.
උබලට කිව්වා නේද එකට යන්න කියල ....බලපන් උබ මේ බස් එකේ යන මේ කෙල්ලෝ දෙන්නව මග දාල අවා නේද යකෝ .....
එතන ඉදන් ඇන්න රුපියල් 12 දුරට හරියන්න කෝටියක්‌ විතර වටිනා බැනිල්ලක් බැන්න.එකේ topic එක සිහිකල්පනාව...
උබලට කිව්වා නේද සිහිකල්පනාව තියන් වැඩ කරන්න කියල ....බලපන් උබේ සිහිකල්පනාව.....
ඔහොම යනකොට කොන්දොස්තර තට්ටු කළා ඇන්නට...
"මල්ලි දෙල්කඳ නේද බහින්නේ.. බහින්න මේ දෙල්කඳ" කිව්වා...
අපිට හිනා,,,,, පොඩ්ඩක් චොර වෙලා ඇන්න බැස්ස.... ඉවරයි කියල හිතුවට කතාව ඉවර නැ. ඔන්න බැහැල ටිකක් වෙලා යද්දී සිහිකල්පනාව ගැන විශේෂ දේශනයට සවන් දුන්න පොඩි උන් දෙන්න හිනා වෙනවා. ටිකකින් මට කොළ පාට බෑග් එකක් දීල කියපි
"අයියේ මේ බැග් එක අර බැහැපු අයියගේ" කියල.
පොඩි උන් දෙන්න කට වහන් හිනා වෙන අතරේ මම බැග් එක ඇන්නට විසිකලා.
අප්පා බලන්න එපෑ ඇන්නගේ මූණ.... තැලිච්ච කජු පුහුලමක් වගේ......

Wednesday, October 19, 2011

මොණරෙක් මෙව්වා කොරනවෝ.....

ඕන්න පහුගිය දොහක අපේ ගොබිලෝ දහ පාලොස් දෙනෙකුයි අපේ අයියලා කස්ටියකුයි ගියා නොවැ අපේ පුරාණ පූජනීය නගරෙ පැත්තේ ඉස්කෝලෙක ලමා ලපටින්ට කොම්පීටර් පොඩ්ඩ්ක් කියලා දීල එන්ටැයි කියලා.  ඉතින් ඕං.. අපේ ගමන් සගයා වෙන දුම්රියෙන් තමා යන්ට ගියේ. අපි යනකොට ඉතින් අපිටම කියලා දුම්රිය මැදිරියක් වෙන්කරලා ගන්ට ඕනෑ එහෙම නැතිනම් අපි දඟලන විදියට අනිත් මගීන්ට හානි පැම්ණෙන්ට  වෙනවා නොවැ.
                අපි අනුරාධපුරේ පැත්තට කිට්ටු වුනේ ඉතිං හැන්දෑකොරේ. ඒ වෙලාවට   වෙල් යායවල් වල , ළඳු කැලෑ  වල ලස්සනට මොණරුන්  එහෙ මෙහෙ ඇවිද ඇවිද ඉන්නවා. දුම්රියෙන්  යනකොට මේ දර්ශණය හරි ලස්සනට බලන්න පුලුවනි. ආහ්... කියන්ට බැරිවුණා නොවැ..., අපේ කොල්ලො සැට් එකේ මේ දවස් වල කාගෙත් කථා බහට ලක් වූ බයාත් ඉන්නවා ඕං.. මනුස්සයාට මේ මොණරුන්ගේ සුන්දර දසුන් නිසා ලොවෙත් ආතල් එක වැඩිවෙලා. දුම්රිය මැදිරියේ කවුළුවක් ලඟ වාඩිවෙලා දකින දකින මොණරා ගනන් කරනවා. ඔය පිහාටු අඩුවෙන් තියෙන්නේ ගෑනු මොණරු ලමයින්ට කියලත් කවුදෝ බයාට කියලා දීලා. අනික් එවුන් ඉතින් ඒ පිළිබඳ වැඩි උනන්දුවක් නැතිව තාලෙට සින්දුවක් කියාගෙන යනවා. ඔහොම ටිකදුරක් යනකොට එකපාරටම බයා මහ හයියෙන් කෑ ගහන්න ගත්තා මෙහෙම.

        "ආං... මොණරෙක් මෙව්වා කොරනවෝ....... ආං... මොණරෙක් මෙව්වා කොරනවෝ......."

                   අපේ අනිත් එවුන් ඒ සද්දෙට, තල තලා හිටපු බොංගො බෙලෙක්ක කෑලිත් පැත්තකට විහික්කොරලා දඩි බිඩි ගාලා ලඟම තිබුණු ජනෙල් කවුළු වලින් එලියට එබුණා මේ බයා දැකපු මොණරා ඇත්තට මොකක්ද කොරන මෙව්ව එක කියලා බලන්ඩ. මෙව්ව දැකල පණපලයන් ලබන සුමානෙ කිව්වලු. වෙල් යායක් මැද්දෙ ලොකු මොණරෙක් ලස්සනට පිල් විදහගෙන ඉන්නවා.. හරිම ලස්සනයි. ඉතින් ඒක බලලා ඉවර වෙලා  කස්ටිය බයාගෙන් ඇහුවා

        "මොකද උඹ මෙව්වා කොරනවෝ කියලා කෑ ගැහුවෙ..?"

             කියලා. බලනකොට මිනිහා ඒකට  කියන්නෙ "පිල් විදහනවා" කියලා දැනගෙන ඉඳලා නෑ ඕං... ඉතිං අපි බයාට කියලා දුන්නා ඌ ගෑනු ලමයින්ගේ අත බලා සාත්තර කියලා ගොඩ යන්ට ට්‍රයි එක දානවා වගේ තමා මොණරත් පිල් විදහාගෙන ට්‍රයි කොරන්නෙ මොණර කෙල්ලක් එක්ක ගොඩයන්ට කියලා. ඒක අහලා බයාට හිතෙන්ට ඇති මටත් මොණරට වගේ පිල් තිබුණා නම් කියලා. මොකද අත බලා සාත්තර කියන වැඩෙත් අබ්ලික් නොවැ....

Thursday, October 13, 2011

සාපිනා සමඟ සාත්තරයක්....

ඔන්න අපේ සාත්තර බයා මේ ලඟකදි ඉඳලා අත බලා සාත්තර කියනවැයි කියන්නේ. මිනිහා නමෝ විත්තියෙන්  ඔය වැඩේ ආරම්භ කොරලා තියෙන්නේ ආදර කන්ද නගින දවසේ නොවැ. ඒ නිදාන කතාව නොකියා හිටියොත් ඉතින් මට නින්ද යන්නෙත් නෑ ඕං.. හොහ්.
             ඔය අපේ සාපිනා කෙල්ල ඉන්නේ, ආන්න එයාත්  ආදර කන්ද නගින්න ගියානේ. හප්පේ ටික දුරයි සාපිනාට කන්ද නගින්න පුලුවන් උනේ තනියම. ඉතිරි ටික යන්න බැරිව මූණත් රතු වෙලා ඔහේ හිනා වෙවී ඉන්න කොට අපෙ සාත්තර බයාත් හැරමිටියක් ඇන ඇන ඔතනින් යන්න ඇවිත්.  ආනේ සාපිනා දැකපු බයාගේ හිත  වෙඬරු පිඩක් වාගේ උණු වෙලා.  ඉතින් සාපිනාගෙ අතින් අල්ලාගෙන සාත්තර බයා හෙමිහිට කන්ද නගිනවාලු ඔන්න. ඒ අතරෙ සාත්තර බයා සාපිනා ගෙ අත බලලා හෝ ගාලා සාත්තර කියනවාලු.

        "සාපිනා කෙල්ලෙ මට පේනවා ඔයාට පොකිරිස්සෙක් වගේ දඬු දිග හරි සුවීට් කොල්ලෙක් සැට් වෙනවා ඕං.... හොහ් හොහ්... වෙරි නයිස්... එයා ඔයාට හම්බවෙන්නෙ කන්දක් නගින්න ඔයාට උදව් කොරන්න   ඇවිත්...  ඔයා මාර ලකී නෙව.."

      අනේ ඉතින්    මුගේ ගල් පෙරලෙන බොරු නිසා අපේ කන්ද නගින එවුන් අඩිය තිය තියා යන ගල් පවා පෙරලෙනවා. කෝකටත් හිනා වෙන සාපිනාත් ඉතින් හිනා වෙවී බයාගෙ හොර සාත්තර අහගෙන යනවාලු. මොනව කරන්නද කොහොම හරි කන්ද නැග ගන්නත්  එපැයි.  ඔන්න ඉතින් ඔහොම කන්දේ මැද හරියෙ තියෙනවා මඳ බෑවුමක් සහිත තැනි තලාවක්. ඒ හරියට ආවත් බයා නෙමෙයි සාපිනාගෙ අත බලා සාත්තර කීම නවත්තලා තියෙන්නේ. සාපිනාගෙ පෙර ආත්මය ගැන, යාළුවො ගැන,  ලව් එක ගැන, සම්මාන ගැන එක එක සාත්තර කියනවා. 
                ඔන්න ඉතින්  එතන ඉඳන් දවල්ට එහෙම සප්පායම් වෙලා අයෙත් කස්ටිය කන්ද නගින්න ලෑස්ති. ඔන්න ඔය වෙලාවේ බයා දුවගෙන එනවලු සාපිනා ලඟට. ඇවිත් මෙහෙම කියනවා.

    "කෝ දෙමු බලන්න ඔය අත කෙල්ලෙ... ඔයාගෙ අත හරි සෝක් අතක් නෙව. තව සාත්තරයක් දෙකක් කියලා දෙන්ට ඕන... හොහ් හොහ්...."

        ඒ වෙලාවෙ  සාත්තර බයාට ලැබුණ පිලිතුරට නම්  උගේ හිත වාවන්නේ නැතිව ගියාලු.

            "නෑ බයා.., ඔයාගෙ සාත්තර ඇහුවා ඇති... මට තනියෙන් යන්න පුලුවන්... ඔයා අතින් අල්ලගෙන යන්න ඕනෙ නෑ...."

        කියලා සාපිනා බයාගෙ මූනටම කිව්වලු....  ඉතින් බයාට අර කන්දෙන් පහලට පනින්න හිතුන එක පුදුමයක් නෙමෙයිනේ.. කොහොම උනත් එහෙම වෙන්න නොදී අපේ අනිත් අය බයාව සනසලා. අන්තිමේට සාපිනාවත් අතින් අල්ලගෙන කන්ද නැගපු බයාට කන්ද බහින්න උනේ වෙනත් ගෑනු ලමයි දෙන්නෙක්ගෙ අතේ එල්ලිලා. ඉතින් ඒ වීර ක්‍රියාව නිසා අපේ කොල්ලන්ගෙන් ලොවෙත් හූවක් එහෙම බයාට පිලිගැන්නුවා. 
    හොහ්  හොහ්... ඔන්න ඔහොමයි ලමයිනේ අපේ හොර සාත්තර බයා ගුරුන්නාන්සේ අත බලා සාත්තර කීමෙන් සාපිනා සමඟ ගොඩයෑමට ගත්  ඛේදාන්තමය ලව් ඉස්ටෝරිය ඉවර උනේ.......  ඇත්තටම මේ ලව් ඉස්ටෝරිය ඇතුලේ  දුස්ටයෙක් නෑ වගේ පෙනුනට... ලොවෙත් ඉතා දරුණු දුස්ටයෙක් ඉන්නවා.. ඒ තමයි පන්නිපිටිය පැත්තේ බෝතල් පත්තර බිස්නස් කරන කොල්ලෙක්. හැබැයි ඉතිං දුස්ටයා මේ සීන් එකට එන්ටොර් වෙන්නේ අන්තිමට... අන්තිමට කිව්වට අන්තිමටමත් නෙමෙයි...  එන්ටොර් උනා කිව්වට එන්ටොර් උනාමත් නෙමෙයි.....

Saturday, October 1, 2011

කට කහනවාටය.....

සරසවියේ දෙවන වසර අධ්‍යයන කටයුතු ආරම්භයට ඇත්තේ තවත් මසකටත් අඩු කාලයකි. නිවාඩු කාලය නිසා සියල්ලෝම පාහේ තම නිවෙස්වලට වී කාලය ගතකරමින් සිටී. බොහෝ විට ඔවුන් තම දෙවන වසර ගැන සිහින දකිමින් සිට්නවා වියහැක. කොළඹින් දුර බැහැර එවුන් නැවත කොළඹ තම බෝඩිමට පැමිණීමට සූදානමින් සිටිනවා වියහැක. ඒ අස්සේ මට අපේ  උන්ගේ කියුමක් කෙරුමක් මතක් කරන්නට සිතුනේ වෙන වැඩක් නැතිව ඇඟ කහනවාට විය හැක.
    අපේ එවුන් මොකක් හරි කරන්න පටන්ගත්තාම හැම එකාම ඒ වැඩේ පටන්ගන්නේය. ජිම් යනකොට මුලු බැච් එකම ජිම් එකේය, අපේ එවුන් ස්විමිං පූල් එකට යනවාට කියන්නේ රෙදි අපුල්ලන්න යනවා කියලාය. රෙදි අපුල්ලන්න යන කාලෙටත් පූල් එක පුරවලා අපෙ එවුන්ය. අපේ පීනන්න බැරි එවුන් පීනන්න පුරුදු වෙන එක හොඳ වැඩක් ය.   මකුවා වැනි පීනුම් පිළිබඳ විශාරද ලා, නොදන්න එවුන්ට පිහිනුම පිළිබඳ කුප්පි දමති. ඒ කුප්පි වල පිහිටෙන් වතුරට දැමූ විගස පිටි මුට්ටයක් වගේ ගිලුණු පාප්පුවා වැනි උන්ටත්, පිහිනුම පිළිබඳ සියලු න්‍යායාත්මක කරුණු පමණක් ප්‍රගුණ කල පම්මා වැනි උන්ටත් වතුරට දැමූ පසු යන්තම් අතපය වනා එහෙට මෙහෙට පොඩි සෙල්ලමක් දැමිය හැක.
                   ඒත්  අපේ එවුන් පූල් ගිහින් ඇදුම් ඒක අමතක කරලා එන්නේ ඇයි කියලා මට හිතාගන්නට බැරිය. මේ ළඟදි නිවාඩුවට මම ගෙදර ඇවිත් ඉන්න වෙලාවක මට අපේ එකෙක්ගෙන් කෝල් එකක් ආවේය. ඌ කෙලින්ම ඇහුවේ උඹ බෝඩිමේද..? කියලාය.  එහෙම ඇසීමට හේතුව මගේ බෝඩිම කැම්පස් එකට පයින් යන දුරින් තියෙන නිසාය. අපේ එවුන් ටිකක්, නිවාඩු කාලෙත් රෙදි අපුල්ලන්න කැම්පස් පූල් එකට ගිහින්  උන් එකෙක් ගේ ස්විමිං ට්‍රන්ක් එක පූල් එක් දාලා ඇවිත්ය. ඌට ඒක මතක් වෙලා තියෙන්නේ ගෙදර ගියාට පස්සේය. ඊට පස්සේ  මට කතාකරන්නේ ඒක ගන්න යන්න කියලාය.  ඊට කලිනුත් අපේ එවුන්ගේ ස්විමිං ට්‍රන්ක් අමතක වී තිබුනේය. ඒත් හොඳ වෙලාවට උන්ට ගෙදර යන්නට කලින් ඒක මතක්වී තිබුණේය.
            දවසක් මගේ රූමා වන පම්මා, මහ රෑ උගේ වාෂ්ප ඇන්ජිම ඉස්ටාර්ට් කොරගෙනය.   බලනකොට ඌට ස්විමිං පූල් එකේ වතුර පෙවිලාය.  මම නම් ඌට කිව්වේ පහුවෙනිදාම කියුබාවට ගොස් බේතක් ඉල්ලාගෙන බොන්ට කියලාය. ඒත් පහුවදා ඌට ගානක් වත් නැත.  කිරිහලේ කල් ඉකුත් වූ කිරි බීපු මුට, තිසා වැවේ පල් වුණ වතුර පෙවුනු මුට ඕකත් දෙයක් දැයි මට පසුව සිතුනේය. කියන්නට අමතක වුණ දෙයක් තියේ. මට කෝල් කලේ බොරියා ය. ස්විමිං ට්‍රන්ක් එකේ අයිතිකරු පරන්නා ය. දාලා ඇවිත් තියෙන්නේ ටිරියා ය...